සමගි ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිප​ති අපේක්ෂක ආචාර්ය, රුවේස් හනීෆා මහතා කොළඹ නගරාධිප​ති ධුරයට පත් කිරීමට විපක්ෂ සභිකයින් 59 දෙනෙකු ඡන්දය ලබා දීමට සැලසුම් කර ඇති බව සමගි ජන බලවේගයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ​ය.

සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, එක්සත් ජනරජ පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඇතුළු පක්ෂ කිහිපයක් දැනටමත් මෙම තීරණයට එකඟතාවය පළ කර ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද බොහෝ විට මේ සඳහා සහය දක්වනු ඇති බවත් ඔහු තවදුරටත් පවසා සිටියේ​ය.

කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13ම ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත් වුවත්, කොළඹ මහනගර සභාව, කොළොන්නාව සහ සීතාවකපුර නගර සභා මෙන්ම සීතාවක ප්‍රාදේශීය සභාවේ බහුතර බලය හිමිකර ගැනීමට ඔවුන්ට නොහැකි වි​ය.

ඒ අනුව, කොළඹ මහනගර සභාව සඳහා ජාතික ජන බලවේගය සඳහා හිමිවූයේ මන්ත්‍රී ධුර 48ක් පමණයි.

මේ අතර, විපක්ෂයේ සියලු කණ්ඩායම් සමඟ එක්ව කොළඹ මහ නගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයෙක් පත්කර ගන්නා බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද පවසා සිටියේ​ය.