උදාවූ 2025 නව වසරේදී මේ සියවසේ මඟහැරුණු ජයග්‍රහණ යළි රටට අත්කර දීමටත්, එකී ජනතා සිහින යථාවක් කිරීමටත් තවත් වීර්යයෙන් සහ සද්- අධිෂ්ඨානයෙන් යුතුව කැපවී ක්‍රියා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක නව අවුරුදු සුබ පැතුම් එක් කරමින් සඳහන් කරනවා.

එහිදී ඔහු සඳහන් කරන්නේ, ජනතාව අපේක්ෂා කරන යහපත් රාජ්‍යය ගොඩනැගිම වෙනුවෙන් පැවති දේශපාලන සංස්කෘතියේ විසල් පරිවර්තනයක් සිදු කරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටු කිරීමට යුහුසුළුව කටයුතු කරමින් සිටින බවයි.

සාමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් ඔස්සේ සමාජය වඩා දියුණු තලයකට ඔසවා තැබීම අරමුණු කර ගත් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන නව වසරේ උදාවත් සමඟ ක්‍රියාවට නැංවීම සිදුකෙරෙන බවත් ජනපතිවරයා ස්වකීය සුබ පැතුම් පණිවිඩය ඔස්සේ වැඩිදුරටත් සඳහන් කරනවා.

නව අවුරුදු සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කරන්නේ, සෑම පුරවැසියෙකුටම ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය, වාර්ගික හෝ ආගමික භේදයකින් තොරව සාමකාමී, නිදහස්, ගෞරවනීය සහ තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි අනාගතයක් නිර්මාණය කිරීම රජයේ දැක්ම බවයි.

දීප්තිමත් අනාගතයක් කරා යන ගමන අභියෝගාත්මක වන අතරම, එම ඉලක්කය සපුරා ගැනීම සඳහා දැනටමත් සැලකිය යුතු පියවර රැසක් ගෙන ඇති බවයි අග්‍රාමාත්‍යවරිය සිය සුබ පැතුම් පණිවිඩය මගින් සඳහන් කරන්නේ.

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  නව අවුරුදු සුබ පැතුම් එක් කරමින් සඳහන් කරන්නේ මාතෘ භූමිය වර්තමානයේ මුහුණ දී ඇති අභියෝග නිවැරදිව හඳුනා ගනිමින් එම අභියෝග ජය ගැනීමට අවශ්‍ය ධෛර්ය, ශක්තිය හා දැක්මක් ඇතිව කටයුතු කිරීමට උදාවන නව වසරේ සියලු දෙනා අදිටන් කරගත යුතු බවයි.

එහිදී ඔහු සඳහන් කරන්නේ, අතීතයේ මෙන් පටු වාර්ගික, ආගමික මතවාද තුළ බේදභින්න කළ දේශපාලනික වැඩසටහන් යළිත් ඉස්මතු නොවීමට කටයුතු කිරීම එහිදී අතිශය වැදගත් වන බවයි.

එමෙන්ම ගෙවී ගිය වසර හතරකට ආසන්න කාලය තුළ රටේ ජනතාව මුහුණ දුන් අවිනිශ්චිත බව, අපේක්ෂා භංගත්වය අවසන් කොට ජනතාවට මාතෘභූමිය තුළ රැදී සිටීමට හිතකර ආර්ථික, දේශපාලන, සමාජීය වාතාවරණය නිර්මාණය කිරීම තම අපේක්ෂාව බවත් ව්පක්ෂ නායකවරයා සිය පණිවිඩය ඔස්සේ දක්වා තිබෙනවා.