වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මරණයට පත්වූ නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා මේ මස 23 වනදා ගොඩගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා එම දේහය මේ මස 23 වනදා ගොඩ ගැනීමට අවසර දෙන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ඉල්ලීමක් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් විසින් මෙම නියෝගය නිකුත් කළේය.

මෘත දේහය ගොඩගන්නා අවස්ථාවේදී අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන ලෙසත් මෙහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් බදුල්ල මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී ඇත.

මෙම නව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත්කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් නඩු දිනයේදී කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර තිබූ අතර ඒ අනුව අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා ත්‍රිපුද්ගල වෛද්‍ය කමිටුවක් පත් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රියන්ත අමරරත්න, විශේෂඥ අධිකරණ වෛද්‍ය පී.ආර්. රුවන්පුර සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හා විශේෂඥ අධිකරණ වෛද්‍ය මුදිත විදානපතිරණ යන විශේෂඥ වෛද්‍ය කමිටුවට පත් කර තිබෙන බවත් අධිකරණයට දැනුම් දී තිබේ.

අදාල තරුණයාගේ මරණය සැක සහිත බවත් එබැවින් ඔහුගේ මෘත ශරීරය ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මියගිය තරුණයාගේ මව විසින් කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් අදාල මෘත ශරීරය ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පසුගියදා නියෝග කර තිබුණි.