රිද්ම වීරවර්ධනගේ ‘නාඩගම් ගීය’ අලුතින් කියවමු

අලුත් පරම්පරාව අතින් සුභාවිත ගීතය දූෂණය වෙනවා ​ය යන්න ප්‍රකට මැසිවිල්ලක්.ඒ වුණත් ඔවුන් අතරින් පවා විටින් විට හෝ අප ව “කරකවා අතහරින” වර්ගයේ නිර්මාණ පහ​ළ වෙනවා. අන්න එවිට එවන් නිර්මාණවල ප්‍රතිභාවට ගරු නොකරන්නේ නම් එය කුහකකමක්. රිද්ම වීරවර්ධන වගේ නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් දිහා බැලුවම අපිට අපේ දැනුවත් රසික සමාජයෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්.

“එක මකුණයි ළමයෝ කන්නේ
ඇයි ඔක්කොම මකුණො මරන්නේ?”

ගීත කලාවට කිසිසේත්ම මකුණෙකු ගේ ඉරණම අත් විය යුතු නැහැ. නව පරපුරේ ප්‍රතිභාන්විත නිර්මාණ දිහා අප වඩාත් දයාවෙන් බැලිය යුත්තෙ ඒ නිසා. අන්න ඒ අර්ථයෙන් මේ සතියේ අපට පුළුවන් රිද්ම වීරවර්ධනගෙ ඉතාම ජනප්‍රිය නාඩගම් ගීතය පිළිබඳ සාකච්ඡා කරන්න.

හෙට නාඩගමේ මම රජාට අඳිනව
අජාසත්ත නාමෙන්
මුළු ගමේ ම අඟනුන් මට වහ වැටෙනව⁣
බලාපල්ල බොරු නම්

අපි දන්න ඉතිහාස කතාවට අනුව අජාසත්ත කියන්නෙ දුෂ්ටයෙක්. පීතෘ ඝාතකයෙක්. එය සුළුපටු දුෂ්ටකමක් එහෙම නෙවෙයි. සිය පිය රජතුමා වෙච්ච බිම්බිසාරව දඟගෙයි දමලා, යටි පතුල් පලා, ලුණු ළා මැරවීමේ ඒ කෲර කතා ප්‍රවෘත්තිය අපට පුංචි කාලෙ ඉ​ඳලම කට පාඩම්. මේ කෲරත්වය වඩාත් කැපී පෙනෙන්නෙ බිම්බිසාර පිය රජු ගෙ ධාරක සෙනේහයත් එක්ක සස​ඳද්දි. මතකනේ, අජාසත්ත කුමාරයගෙ පුංචි සන්දියේ වෙච්ච දේ.

කුමාරයගෙ ඇඟිල්ලක තිබ්බ ⁣ඒ විෂ ගෙඩියෙ සැරව උර උරා ඉන්න තරම් බිම්බිසාර රජුගෙ හදවත දරු සෙනෙහසින් උණුවෙලා තිබුනේ. එහෙම තාත්තව අර තරම් කුරිරු විදියට මරල දමන්න තරම් අජාසත්ත බල තණ්හාවෙන් අන්ධ වුණා.

ඒ විතරක් ද? බුදුන් වහන්සේ ට හිංසා පීඩා කොට උන් වහන්සේ ඝාතනය කිරීමේ දෙව්දතුන්ගේ අධම උවමනාවටත් පූර්ණ අනුග්‍රහය දැක්වුවේ අජාසත්ත.ඒ අතින් අජාසත්ත කියන්නෙ නොම්මර එකේ දුෂ්ටයෙක්.

තව ඕනෙ නම් අපි ට මතක් කර ගත හැකි ලිච්ඡවී රජ දරු⁣වන් ගෙ අහිංසක ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය යටත් කරගන්න අජාසත්ත ට තිබුනු බල පෙරේතකමත්.

ඉතින් දෙවියනේ,රිද්ම ⁣මේ කියන නාඩග⁣මේ බිම්බිසාර රජතුමාටත් අනිවාර්යයෙන්ම චරිතයක් තියෙන්න ඇති නේ. හැබැයි ගමේ ගෑණු ධාර්මික බිම්බිසාරව රුපියලකටවත් මායිම් නොකර අර තරම් දුෂ්ට අජාසත්තට වහ වැටෙන්නෙ ඇයි?

මේ ගීතය විශිෂ්ට ගීතයක් වෙන්න වෙන කිසිම හේතුවක් අවශ්‍ය නෑ. ඔන්න ඔය කියන සංකීර්ණ සමාජ මනෝභාවය නිරූපණය කිරීම ම ඇති.

අපි තව ටිකක් සරල විදියට ඒ කාරණාව ලිහා ගමු. දුෂ්ට අජාසත්ත වේදිකාවට ගොඩවෙන්නෙ මෙහෙම.

දමා කඩුක්කන් ඔටුණු නළල් පට
කඩුව කරකවා සබයට එන හැටි
බලා හිඳින අඟනුන්
සත්තයි, ආලෙ බඳියි රහසින්

බිම්බිසාර රජතුමාගෙ ඛේදජනක මරණයෙන් පස්සෙ මගධයේ අධිරාජ්‍යයා බවට පත් වෙන්නෙ අජාසත්ත. ඔහු මගධයේ පැරණි දේශ සීමාවන්ගෙන් සන්තෘප්ත වෙන්නෙ නැහැ.ඔහු ට අවශ්‍ය වෙනවා අධිරාජ්‍යය පුළුල් කරගන්න.ඒ අර්ථයෙන් තමයි ඔහු අර තරම් ධාර්මික ලිච්චවීන් ගේ රාජ්‍යය ආක්‍රමණය කරන්නෙත්.

ඔහු ට අවශ්‍ය “බලය” පුළු​වන් තරම් තමන් වෙතට එකතු කරගන්න.

අජාසත්ත දන්නවා තමන් ගේ සියලු පාපී කිළි කුණු සෝදා හැර තමන් වඩාත් කඩවසම් කිරීමේ අපූර්ව ඉන්ද්‍රජාලික ගුණයක් “බලය” සතු ව පවතින බව.බලය විසින් අජාසත්තට අත්පත් කර දුන් තේජස සහ ප්‍රතාපවත් බව අපි ට පේන්නෙ කඩුක්කන්වලින්. ඔටුන්නෙන්, නළල් පටිවලින්, කඩු​ව කරකව කරකව එන විදියෙන්.ඒකම තවත් කෙනෙකුට තවත් යුගයකදි පිලිවෙලට මට්ටම් කොට කැපූ උඩුරැවුලකින්,කුරහන් පාට සාටකයකින්,කෝටුවක් රැගෙන සාරවත් කුඹුරු යායක් මැදින් ඇවිදගෙන යන දර්ශනයකින් පෙනෙන්න පුලුවන්.තවත් කෙනෙකුට ඕක පේන්න පුලුවන් ටයි කෝට් එකකින්,ඉංග්‍රීසි කතා කරන විදියෙන්.

ඒක තමයි බලයේ මැජික් එක.ඕනම දුෂ්ටයෙක් බලය ලත් විට කඩවසම්.

පවර අජාසත් නිරිඳුන් මම වෙමි
පියා නසා රජකම අරගන්නෙමි
කියා එද්දි අද මං
සත්තයි, ආලෙ බඳියි අඟනුන්

කෙනෙකුට හිතෙන්න පුලුවන් මෙහෙම.අර ත්‍රීවිල්වල ගහල තියෙන්නෙ ස්ටිකර් එකක්,”සල්ලි ගස්වලින් කඩන්න පුලුවන් නම් ගෑණු වඳුරොත් එක්කත් යාලු වෙනවා” කියලා. මේ කියන්නෙත් එහෙම ස්ත්‍රී විරෝධී කතාවක් ද කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන්. නෑ, මේ කියන්නෙ එහෙම එකක් නෙවෙයි. මේ ගීතයේ අඟනුන් යනු උදාහරණයක් පමණයි. ස්ත්‍රී පුරුෂ ​භේදයකින් තොරව “බලය” නමැති ඉන්ද්‍රජාලික ගුණය අබියස මුළුමහත් සමාජයම ගිනිකණ වැටීමට නියමිතයි.

ඒක නිසා තමයි කුඩුකාරයො, මිනීමරුවො, ස්ත්‍රී දු​ෂකයො, කම්බ හොරු සුදට සු⁣දේ බැබලි බැබලි පන්සල්වල කොත් කැරලි එහෙම පළ​ඳවන්න යන්නෙ.

ඉතින් මේ වගේ ගැඹුරු විවේචනාත්මක අදහසක් සහිත ගීයක් අපේ සමාජය තුළ මීට වඩා කතිකාවට ලක් විය යුතු නැද්ද?

– නලින්ද සංජීව ලියනගේ –