දෙමෝදර ආරුක්කු 9 පාලම පුරාවිද්‍යා උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබේ.

එම පාලම සංරක්ෂණය කර සංවර්ධනයට පියවර ගෙන ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ප්‍රකාශ කර ඇත.

දේශීය හා විදේශීය සංචාරකයන්ගේ දැඩි ප්‍රසාදයට හා නැරඹීමට උත්සුක වන ඇල්ල නගරයේ ප්‍රධානතම සංචාරක ඉසව්වක් ලෙස වන දෙමෝදර ආරුක්කු නවයේ පාලම හැදින්විය හැකිය.

එහි උස අඩි 300 (මීටර් 91.44) හා පළල අඩි 25 (මීටර් 7.62) ක් වේ.

මෙය වංගු සහිතව නිර්මාණය වුවකි.

ආරුක්කු නවයේ පාලමේ දළ සැලැස්ම නිර්මාණය කර ඇත්තේ එච්. ආර්. මාර්වුඩි නමැති බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයා විසිනි.

මෙම පාලමේ වැඩ කටයුතු 1913-1917 වර්ෂවලදී ආරම්භ කර 1919 වර්ෂයේදී අවසන් කර තිබෙන බව මුලාශ්‍ර තොරතුරුවල සඳහන් වේ.

ආරුක්කු නවයේ පාලම නිර්මාණය කිරීමේදී ඩී. ජේ. විමලසුරේන්ද්‍ර වැනි ලාංකික ඉංජිනේරුවරුන්ද සහභාගි වී තිබෙන බව ද වාර්තා වේ.

 

නිර්මාණි ගුණරත්න