ස්ථාන මාරු කිරීම සඳහා නියෝග නිකුත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට බලයක් නැතැයි දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
 
තමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනෙකු මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඊයේ (25දා) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම පිළිබඳ සිය ස්ථාවරය සඳහන් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාට ලිපියක් යවමින් ඔහු මේ බව කියා සිටියි.
 
ඒ අනුව එම නියෝගය පිළිපැදීමට තමන් බැඳී නොමැති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ලිපියෙන් සඳහන් කරයි.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීමට බලය ලබා දී ඇත්තේ ජාතික පොලිස් කොමිසමට බවත්, පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තිය අනුව සහ විජේසූරිය එදිරිව රජය 1974 එන්එල්ආර් 25 නඩුවේ නියෝග අනුව අනීතික නීතිය ක්‍රියාත්මක කිරීමට තමා බැඳී නොමැති බවත් හෙතෙම තවදුරටෙත් සිය ලිපිය මගින් දන්වා සිටියි.
 
මේ අතර, දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ස්ථාන මාරුවීම් ලබා දී ඇත්තේ නියමිත නීත්‍යනුකූල ක්‍රමවේදය අනුව බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
 
අජිත් රෝහණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇත්තේ ජාතික පොලිස් කොමිසමේ පූර්ණ ආවරණ අනුමැතියට යටත්ව බව සඳහන් කරන අමාත්‍යවරයා, අජිත් රෝහණ මහතා මීට පෙර දකුණු පළාතට මාරු කර යවනු ලැබුවේද ඉහත ක්‍රමවේදය අනුව බවද කියා සිටියි.
 
එම අවස්ථාවේදී දකුණු පළාතට ගිය අජිත් රෝහණ මහතා අදාළ ක්‍රමවේදය යටතේම නැගෙනහිර පළාතට මාරු කළ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කරන්නේ කෙසේදැයි ද අමාත්‍යවරයා විමසා සිටියි.
 
එමෙන්ම සේවා අවශ්‍යතා මත මාරුවීම් ලබා දී ඇති අවස්ථාවක අජිත් රෝහණ මහතා පමණක් එම මාරුවීම ප්‍රතික්ෂේප කිරීම ගැටලුසහගත බව කී අමාත්‍යවරයා ඒ පිළිබඳ රජයේ විශේෂ අවධානය යොමු වී ඇතැයිද  කියා සිටියි.