නව කම්කරු නීති පද්ධතියේ පළමු දළ කෙටුම්පත මැයි මාසය වන විට අවසන් කරන බව කම්කරු සහ විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර පවසයි.

නීති පද්ධතිය සකස් කිරීම පිලිබදව වෘත්තීය සමිති, ආයෝජකයින් , ව්‍යවසායකයින් , විද්වතුන්ගෙන් අදහස් ලබාගැනීමටත් ක්‍රමවේදයක් සකස් කර තිබෙන බවද ඇමතිවරයා සදහන් කර ඇත.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීවේය.

කම්කරු නීතිය ගැන අද විශාල කතාබහක් ඇතිවෙලා තිබෙනවා. එක පැත්තකින් ආයෝජකයින් කම්කරු නීති ගැන චෝදනා කරන විට අනෙක් පැත්තෙන් කම්කරුවන්ද තමන්ගේ ප්‍රශ්න විසදා ගැනිම සම්බන්ධයෙන් චෝදනා කරනවා.අපි මැයි මාසය වන විට අලුත් කම්කරු නීතිය සම්බන්ධයෙන් වන දළ සැකැස්ම අපි ඉදිරිපත් කරනවා. කැබිනට් මණ්ඩලයට අපි ඒක ඉදිරිපත් කරන්න අපේක්ෂා කරනවා. අපේ රටේ කම්කරු නීතිය සම්බන්ධයෙන් විශාල විවේචන ප්‍රමාණයක් තිබෙනවා. මේ නිසා වෘත්තීය සමිතිවලට, ආයෝජනකයින්ට, ව්‍යවසායකයින්ට, ස්වාධීන මත දරන ඕනම අයෙක්ට ඔබේ යෝජනා කම්කරු අමාත්‍යාංශයට එවන්න පුලුවන්. රටම වෙනසකට ලක්වන වෙලාවේ කම්කරු නීතියේ වෙනස් කිරීමට අපි ලක් කරනවා. අවුරුදු ගානක් පැරණි පනත් 40ක් විතර තිබුණත් එයින් භාවිතාවට ගන්නේ පනත් 16ක් පමණයි. එයින් වෘත්තීය සමිති ආඥා පනත, වන්දි ආඥා පනත, මාතෘ ප්‍රතිලාභ, කාර්මික ආරවුල්, සාප්පු හා කාර්යාල, රැකියා අවසන් කිරීම සම්බන්ධයෙන් පනත් ගොඩක් තිබෙනවා. අපේ රටේ කම්කරු නීතිය මොකක්ද කියලා බලන්න පනත් විශාල සංඛ්‍යාවක් ගැන අවධානය යොමු කරන්න වෙනවා

නිර්මාණි ගුණරත්න