‘කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු ලේඛනයක් නෑ’  යැයි කම්කරු හා විදේශ රැකියා ඇමති  මනුෂ නානායක්කාර  පවසා ඇත.

කම්කරු නීති සංශෝධනය කරන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් කිසිදු සංවිධානයක් දැනුම්දී නොමැති බවද කම්කරු නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගන්නා ඉන්ෆ්ල්ක්ස් වේදිකාවේ තෙවැනි සැසිවාරය අමතමින් ඇමතිවරයා මෙසේ ප්‍රකාශ කර තිබේ.

කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට කිසිදු ලේඛනයක් සකස් කර නොමැති බවත්, කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට පෙර ඒ සම්බන්ධයෙන් අදහස් ලබාගැනීමට අමාත්‍යාංශයේ ආරම්භ කර තිබෙන මහජන අදහස් ලබාගැනීමේ වේදිකාවට පැමිණ අදහස් දක්වන ලෙසට වෘත්තීය සමිති සහ සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බවත්,  ඔහු සදහන් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පවසා තිබේ.

‘අපට තියෙන ප්‍රධාන අරමුණ තමයි අවුරුදු සියයක් පමණ පැරණි කම්කරු නීතිය වෙනස් කිරීම.

ජාත්‍යන්තර කම්කරු සංවිධනය හෝ වෙනත් කිසිම ජාත්‍යන්තර සංවිධානයකින් අපිට කියල නෑ අපේ රටේ කම්කරු නීතිය වෙනස් කරන්න කියල. අපි රටක් විදිහට අවුරුදු 74 ක් 75 ක් ගැන චෝදනා කර කර ඉන්නව මිසක් ඉදිරි ගමනක් ගැන හිතන්නෙ නෑ.
අසූ දහසක් පමණ වන ඊ.පී.එෆ්.,ඊ.ටී.එෆ් ගෙවන ආයතන ගණන රටක් විදිහට බොහොම මදි. ඊ.පී.එෆ්.,ඊ.ටී.එෆ්වල ලියාපදිංචි කම්කරු ප්‍රජාව ඉන්නෙ මිලියන දෙකක් පමණ ප්‍රමාණයක්. රටේ බදු ගෙවන ආයතන තියෙන්නෙ දෙලක්ෂ අසූ දහසයි ගිය අවුරුද්ද වෙනකොට. මම මේ කියන්නෙ උපයන විට බදු ගෙවන අයත් ඇතුළුව. රටේ ආයතනවලින් සියයට දහයක්වත් බදු ගෙවන ආයතන නැත්නම් රටක් ඉස්සරහට ගෙනියන්න පුළුවන්ද? බැහැ. අපි චොදනා කරනව විතරයි. හැබැයි ප්‍රශ්ණය විසඳීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නෙ නෑ.

අපේ රටේ ව්‍යාපාර සහ කර්මාන්ත කරගෙන යාමේදී ගැටළු රාශියක් තියෙනව. කම්කරු නීති රීති පිළිබඳව මතු වෙන ගැටළු එයින් ප්‍රධාන තැනක් ගන්නව. ඒවා හාම්පුතුන් විසින් විවිධ අවස්ථාවලදී මතු කරල තියෙනව. ඒ වගේම වැඩ කරන ජනතාවටත් එහෙමයි. ඔවුන්ටත් මේ කම්කරු නීති යටතේ මහ ලොකු රැකවරණයක් හම්බවෙන්නෙ නෑ. මේ තිබෙන කම්කරු නීති රීති වලින් මේ දක්වා යහපතක් උනා නම් අපේ රටේ කම්කරු ප්‍රජාව අද දියුණු වෙලා ඉන්න ඕන. නමුත් එහෙම වෙලා නෑ.

නිදහස ලබා අවුරුදු සියය පිරෙන 2048 වර්ෂය වන විට වත් අපි දියුණු රටක් විය යුතුයි කියන ඉලක්කය ඇතුව තමයි වත්මන් රජය ප්‍රතිපත්ති සම්පාදනය කරල තියෙන්නෙ. අද අපිට සිද්ධ වෙලා තියෙනව තප්පරෙන් තප්පරේ වෙනස් වෙන තාක්ෂණයට අනුව තප්පරෙන් තප්පරේ වෙනස් වෙන ලෝකයට අනුව අපේ ශ්‍රමිකයාව නිර්මාණය කිරීමේ වගකීමක් අපට තියෙනව. ඒ සඳහා අපට ගොඩක් වෙනස්කම් කිරීමට සිදුවෙනව. එහෙම බැරි උනොත් රටක් විදිහට අපි අසමත් වෙනව.

ඒ නිසා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නීති රීති සහ මග පෙන්වීම්වලට අනුකූලව අපේ රටෙත් කම්කරු නීතිය සකස් විය යුතු බවට බොහෝ යෝජනා ඉදිරිපත් උනා. අපි මේ කටයුත්ත විවෘත සංවාදයකට භාජනය කළා. අපි කම්කරු කොමසාරිස් ජනරාල්වරයා හරහා ආරධනා කළා වෘත්තීය සමිතිවලට මේ සඳහා යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන්න කියල. මම සියළුම පක්ෂවලට ලිඛිතව ආරාධනා කළා මේ සම්බන්ධයෙන් ඒ ඒ පක්ෂවල අදහස් හා යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න කියල. මම මෙ සතිය තුළ නැවත වතාවක් මගේ අත්සනින් වෘත්තීය සමිතිවලට ලිපි ලියල ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනව. ඒ වගේම හාම්පුතුන්ගේ සම්ගම්වලට සහ මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නා වූ ඕනෑම කෙනෙකුට අදහස් දක්වන්න අපි ආරාධනා කරනව. මේ යෝජනා සහ අදහස් ලිඛිතව හෝ සහභාගි වී ඉදිරිපත් කළ හැකියි.’

නිර්මාණි ගුණරත්න