ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා මහතා අතර සාකච්ඡාවක් ඊයේ (11) පැවැත්විණි.

එහිදී රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් පිටියේ ඉදිරියෙන්ම සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළිත් ලෝක කුසලානය සඳහා තරග කිරීමට සුදුසුකම් ලැබීමේ වටයට මුහුණ දීම දක්වා කඩා වැටී ඇති ආකාරය පෙන්වා දී ඇත.

එම තත්ත්වයෙන් යළි නැඟී සිටීමට කටයුතු කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධ සියලු දෙනාගේ වගකීමක් බවද හෙතෙම  පවසා තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අප ගරු කරනවා සේම අපේ රටේ නීතියට ද ගරු කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටින බව එහිදි  ඇමතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

ඒ අනුව ඉදිරියටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ නිවැරදි දේ කිරීමට තමාගේ සහයෝගය ලබා දෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පාර්ලිමේන්තුවට හා ජනතාවට විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් වගකීමට බැඳී සිටින බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

ඉදිරියේදී සියලු පාර්ශ්වයන් සමඟ නිවැරදි සැලසුමක් සහිතව වැඩ කටයුතු කළ යුතු ආකාරයද ඇමතිවරයා  මෙහිදී පැහැදිලි කර ඇත.

කවිඳු කාරියවසම්