‘ඡන්දය ලබා ගැනීම සඳහා ජාතික ජන බලවේගය ජුනි මාසයේ අට වැනිදා යළිත් අරගලය දියත් කරනවා.ඒ උද්ඝෝෂණ වටය අවසන් කරමින් අන්තිමට කොළඹ වට කරන මහා ජන සටනට අපි ලෑස්තියි’ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසා ඇත.

මාර්තු මාසයේ නව වැනිදා ඡන්දය භාවිත කිරීම වෙනුවෙන් රටේ විශාල දේශපාලන උණුසුමක් තිබූ බවත් මේ රටේ සාතිශය බහුතර ජනතාවක් ගෙන තිබුණු තීරණය, අප රට මෙතෙක් පැමිණි විනාශකාරී ගමන හැරවීමේ ඡන්දයක් බවට පත් කර ගත් බවත් ඔහු සදහන් කර තිබේ.

ඔහු වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කර ඇත.

“මේ රට විනාශයට පත් කළ පාලක කණ්ඩායම් පලවාහැරීමේ සන්ධිස්ථානයක් බවට මාර්තු නවය පළාත් පාලන මැතිවරණය පත් කර ගන්න මේ රටේ සාතිශය බහුතර ජනතාව සූදානමින් හිටියා. ඒ ගොල්ලන්ගේ අතින් බලය තම තමන් අතර මාරු කර ගන්න රනිල්ලා, රාජපක්‍ෂලා, සජිත්ලා අවසානය දක්වා උත්සාහ කරනවා. ඒ අයගෙන් පොදුජන ව්‍යාපාරයක් අතට බලය මාරු වෙන්න එහෙම ලේසියෙන් ඉඩ දෙන්නේ නැහැ. බලය මාරු කර ගන්නවා විතරක් නොවෙයි, පාර්ලිමේන්තුවට එන්න බැරි වුණු රනිල් වික්‍රමසිංහ නැවත ගෙන්වාගෙන ජනාධිපතිකමත් ලබා දෙනවා. රනිල් වික්‍රමසිංහ රාජපක්‍ෂලාගේ කඳවුරේ ජනාධිපති වෙයි කියලා කවුරුහරි හිතුවාද. ඒ ගොල්ලන්ගේ බලය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් ජනතාව නොසිතන දේවල් කරනවා. ඔවුන්ගේ අපරාධවලට එරෙහිව ඉන්න පොදු ජනතාවගේ පැත්තේ ඉන්න මාලිමාව අතට බලය එන එක වළක්වන්න ඒ ගොල්ලෝ එකතු වෙනවා. තවම එකතු නොවුණු පිරිසකුත් ඉන්නවා. ඔවුන් එකතු වන්නේ මේ රටේ පොදු ජනතාවට විරුද්ධව. මේ ජුනි මාසයේ නව වැනිදාට පළාත් පාලන මැතිවරණය නොපවත්වා මාස තුනක් සම්පූර්ණ වෙනවා. ඡන්දය ලබා ගැනීම සඳහා ජාතික ජන බලවේගය ජුනි මාසයේ අට වැනිදා යළිත් අරගලය දියත් කරනවා. පළාත් පාලන මැතිවරණයට තරග වදින අපේක්‍ෂක, අපේක්‍ෂිකාවන් ජුනි මාසයේ අට වැනිදා කොළඹ, රාජගිරියේ මැතිවරණ කොමිසම ඉදිරියට යනවා. ඊට පස්සේ බලෙන් යටපත් කරගෙන ඉන්න, දින නියමයක් නැතුව කල් දාන්න සියලුම කුමන්ත්‍රණ කරන, පාලකයෝ බයවෙලා වෙව්ලන මැතිවරණය ඉල්ලලා අපි හම්බන්තොට, අනුරාධපුරයේ, ගම්පහ උද්ඝෝෂණ පවත්වනවා. ඒ උද්ඝෝෂණ වටය අවසන් කරමින් අන්තිමට කොළඹ වට කරන මහා ජන සටනට අපි ලෑස්තියි”