ශාරුක් ඛාන්ගේ Pathaan චිත්‍රපටිය ලද වාර්තාගත සාර්ථකත්වය හමුවේ බොලිවුඩ් සිනමා ලෝලීන් බලාපොරොත්තු වූයේ Boycott Bollywood රැල්ලට ගසාගෙන යමින් තිබූ බොලිවුඩයට නැවතත් වසන්තය කැන්දන්නට සුප්‍රසිද්ධ ඛාන් ත්‍රිත්වයට හැකිවනු ඇති බවයි.

පසුගිය වසරේ නිකුත් වූ Laal Singh Chadda චිත්‍රපටයෙන් ලද දැවැන්ත පසුබෑම හමුවේ සිනමාවෙන් කෙටි විරාමයක් ලබා ගන්නට ආමීර් ඛාන් තීරණය කර ඇති බව නිවේදනය කිරිමත් සමඟ රසික බලාපොරොත්තු Bhai Jaan යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන් රඟන Kisi Ki Bhai Kisi Ki Jaan චිත්‍රපටය වෙත යොමු වුණේ නිරායාසයෙන්.

Pathaan චිත්‍රපටයේ සල්මාන් ඛාන් නිරූපණය කළ ආරාධිත රංගනය (Cameo) රසිකයින් ඉතාමත් ආදරයෙන් වැළඳගෙන තිබීම නිසා KKBKKJ කෙරෙහි තැබූ බලාපොරොත්තු තවත් ඉහළ ගියා.

නමුත් Youtube වෙත නිකුත් කළ චිත්‍රපටයේ පළමු ගීතය වන Nayyo Lagda හි නර්තන විලාසය සමාජ මාධ්‍ය තුළ හාස්‍යයට ලක්වීමත් සමඟ, අප්‍රේල් 10 නිකුත් කළ ට්‍රේලරයද අපේක්ෂා කළ තරම් රසිකයින් වැළඳගත්තේ නැහැ.

ෆර්හාද් සම්ජි ගේ අධ්යක්ෂණයක් ලෙස පසුගිය ඊද් උත්සවයට සමගාමීව 2023 අප්රේල් 21 සිට ලොව පුරා තිරගත කිරීම ඇරඹූ KKBKKJ චිත්රපටය සඳහා හිමිවූයේ මිශ්‍ර ප්‍රතිචාරයක්.

සල්මාන් ඛාන්ගේ තරු ගුණයට පින්සිදු වන්නට චිත්‍රපටියේ ඉන්දීය බොක්ස් ඔෆීස් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 100 පසු කර යන්නට පසුගියදා සමත් වුවත්, ආරම්භයේදී තිබූ ප්රේක්ෂක ආකර්ෂණය වේගයෙන් ගිලිහෙමින් පවතින බවයි බොලිවුඩයෙන් වාර්තා වන්නේ.

නිෂ්පාදකයන් හට චිත්රපටය සම්බන්ධයෙන් තබාගත හැකි එකම බලාපොරොත්තුව වන්නේ, සල්මාන් ඛාන්ගේ වැඩිම ආදායම ඉපැයූ චිත්රපට ගොන්නේ 15 වන ස්ථානයට පත් වීම (කෝටි 115) පමණයි. මින් පෙර කෝටි 120 ආදායමක් ඉපැයූ Tube light හා Ready චිත්රපටවල ආදායම පහසුවෙන් ඉක්මවා යනු ඇති බවට තිරගතවීම ආරම්භයේදී සිනමා විචාරකයන් අනාවැකි පළ කර තිබුණත්, කෝටි 115ක සීමාවට ළඟාවීම ද අවිනිශ්චිත බවයි දැන් පෙනෙන්නට තිබෙන්නේ.

2014 වර්ෂයේ තිරගත කළ දකුණු ඉන්දියානු චිත්රපටයක් වන Veeram හි නැවත නිෂ්පාදනයක් වන KKBKKJ සඳහා පූජා හෙග්ඩේ, වෙන්කටේශ්, ජග්පති බාබු මෙන්ම සිද්ධාර්ත් නිගම්, රාඝව් ජුයාල්, භූමිකා චව්ලා, ශෙහෙනාස් ගිල් යන නළු නිළියන් රංගනයෙන් දායක වනවා. ඉන්දියානු රුපියල් කෝටි 150ක වියදමින් සල්මාන් ඛාන් ෆිල්ම්ස් (SKF) මගින් නිෂ්පාදනය කර ඇති මෙම චිත්රපටය Imdb දර්ශකයේ 6.9ක අගයක් සටහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, 2023 දිවාලි උත්සවයට සමගාමීව නිකුත් කිරීමට සැලසුම්කර තිබෙන Tiger 3 චිත්‍රපටය හරහා සල්මාන් ඛාන්ගේ නැවත ආගමනයක් පිළිබදව බොලිවුඩ් රසික ඔබට තවදුරටත් බලාපොරොත්තු තබාගත හැකියි.

එම චිත්‍රපටයේ ශාරුක් ඛාන් Pathaan ලෙසින්ම ආරාධිත රංගනයක නිරත වන බව ද බොලිවුඩ් ආරංචිමාර්ග වාර්තා කර තිබුණා.මේ

අතර, මෙම වසරේ ජුනි 2 වැනිදා සිට ලොවපුර තිරගත කිරීම ඇරඹීමට නියමිත ව තිබූ ශාරුක් ඛාන් ගේ මීළඟ දැවැන්ත සිනමා නිර්මාණය වන Jawaan චිත්‍රපටයේ තිරගතවන දිනය සැප්තැම්බර් 7 බව පසුගියදා නිල වශයෙන් නිවේදනය කර තිබුණා.

උමේෂ් ද සිල්වා