මේ දිනවල වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයක පැතිරයමින් පවතින Lumpy Skin Disease නැතහොත් ගව චර්ම ගැටිති රෝගය නිසා ගවයින් මරණයට පත්නොවන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි ‍කොතලාවල සඳහන් කර ඇත.

ගව චර්ම ගැටිති රෝගය මින් පෙර උතුරු නැගෙනහිර පළාත්වලින් වාර්තා වූ අතර, එය සාර්ථකව ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට හැකි විය.

නමුත් මෙම සතුන් ප්‍රවාහනය නොකරන ලෙසට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දී තිබූ උපදෙස් නොසලකා හරිමින් ඇතැම් පුද්ගලයින් රෝගය ව්‍යාප්ත වී ඇති ප්‍රදේශවලින් ගවයින් ප්‍රවාහනය කිරීම නිසා මෙම රෝග තත්ත්වය අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇත.

කෙසේ වුවද මෙම ගව චර්ම ගැටිති රෝගය වැළඳුණු පසු එම ගවයින්ට ඊට ප්‍රතිශක්තිකරණයක් ඇති වන බැවින් නැවත එම රෝගය වැළඳීමේ හැකියාවක් නොමැත.

එමෙන්ම එවැනි ගවයින්ගේ මස් අනුභව කිරීමෙන් රෝගය සෙසු අයට වැළඳීමක් සිදු නොවන අතර, මෙම රෝග තත්ත්වය විශේෂයෙන් කිරි නිෂ්පාදනය අඩු වීමට හේතු වේ.

ඒ හැර සතුන් ස්පර්ශ කිරීමෙන් මෙ‍හි ව්‍යාප්ත වීමක් සිදු නොවන අතර, මෙම රෝගය සම්බන්ධව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරිය අවධාරණය කර තබේ.

නිර්මාණි ගුණරත්න