ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති දෙවැනි එක්දින තරඟයෙන් ලකුණු 58ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය.

තරගයේ ආරම්භයට වාර්ෂාවෙන් බාධා ඇතිවූ බැවින් තරගය පන්දුවාර 30 තරගයක් ලෙස පැවැත්විණි.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 30 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 186ක් රුස් කළේය.
මෙහිදී චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවික්‍රම පිත්තෙන් දස්කම් දැක්වූහ.

චමරි පන්දු 60කදී ලකුණු 64ක් රැස් කළ අතර, ඊට හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය. හර්ෂිතා නොදැවී ලකුණු 45ක් ඉනිමට එක් කළාය. ඊට එක් හතරේ පහරක් සහ හයේ පහර 02ක් ඇතුළත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කාන්තා කණ්ඩායමට පන්දුවාර 29.5 අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 128ක් පමණි. එහිදී බංගලාදේශ නායිකා නිගාර් සුල්ටානා ලකුණු 37ක් රැස් කළ අතර, අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට පිත්තෙන් දස්කම් දැක්වීමට නොහැකි විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු හැවීමක නිරත වූ ඕෂධී රණසිංහ ලකුණු 34කට කඩුලු 05ක් දවාගත්තාය.