ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවික්‍රම ICC මැයි මාසයේ හොඳම ක්‍රීඩිකාව සම්මානය සඳහා නිර්දේශ වී තිබේ.

ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනාට අමතරව තායිලන්තයේ Thipatcha Putthawong යන ක්‍රීඩිකාව මෙම සම්මානය සඳහා නිර්දේශ වී ඇත.

චමරි අතපත්තු බංග්ලාදේශය සමග පැවැති එක්දින සහ විස්සයි විස්ස තරගාවලියේ දැක්වූ දස්කම් මෙම සම්මානය සඳහා නිර්දේශ වීමට හේතු වී තිබේ. ඇය බංග්ලාදේශය සමග පැවැති එක්දින තරගාවලියේදී එක් තරගයකදී ලකුණු 47ක් සහ අනෙක් තරගයේදී ලකුණු 64ක් රැස් කිරීමට සමත් විය. එමෙන්ම ඇය බංග්ලාදේශය සමග පැවැති විස්සයි විස්ස තරගාවලියේදී පිළිවෙළින් ලකුණු 38,33,32 ලෙස ලකුණු රැස් කරමින් තරගාවලිය ජයග්‍රහණය කරවීමට නායකත්වයේ ඉනිම් ගොඩනැගීමට සමත් වූවාය. චමරි T20 තරඟාවලියේදී 132ක ප්‍රහාරක වේගයක් තබාගත් අතර, පිතිකරණ සාමාන්‍ය 34.33ක් ලෙසින් සටහන් වී තිබිණි.

වමතින් පිත්ත හසුරුවන 24 හැවිරිදි හර්ෂිතා මාදවීද බංග්ලාදේශය සමගින් පැවැති එක්දින සහ විස්සයි විස්ස තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ අතර, ඇය අවසන් එක්දින තරගයේදී නොදැවී ලකුණු 45ක් රැස් කළාය. එමෙන්ම විස්සයි විස්ස තරගාවලියේදී ඇය පළමු තරගයේදී ලකුණු 45ක් රැස් කළ අතර, දෙවැනි සහ තෙවැනි තරගවලදී නොදැවී ලකුණු 29ක් සහ ලකුණු 51 රැස් කරමින් තරගාවලිය ජයග්‍රහණය කිරීම සඳහා සිය දායකත්වය ලබා දුන්නාය.

ICC මැයි මාසයේ කාන්තා ක්‍රීඩිකාව තෝරාගැනීම සඳහා අයී.සී.සී. වෙබ් පිටුවට ගොස් ඔබටත් ඡන්දය භාවිත කළ හැක