ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය සහ වැඩිම කඩුලු සංඛ්‍යාවට හිමි වාර්තා අලුත් කිරීමට යෂස්වි ජයිස්වාල් සහ යුස්වේන්ද්‍ර චහාල් අද (11දා)සමත් වූහ.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරන 21 හැවිරිදි ජයිස්වාල් පන්දු 13කදී සිය අර්ධ ශතකය වාර්තා කළේය. රාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ඔහු මෙම දස්කම දැක්වීය.

ජයිස්වාල් මෙවර තරග වාරයේදී ලකුණු 530කට වඩා රැස්කර ගනිමින් IPL තරග වාරයක වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ඉෂාන් කිෂාන්ගේ (516) වාර්තාව අබිබවා යමින් සිටියි. ජයිස්වාල් මෙවර තරග වාරයේ වැඩිම ලකුණුලාභීන්ගේ ලැයිස්තුවේ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් නායක ෆෆ් ඩු ප්ලෙසිස්ට (ලකුණු 576) පිටුපසින් දෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

එමෙන්ම මෙම තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේම යුස්වේන්ද්‍ර චහාල් අයි.පී.එල්. කඩුලු 186 සීමාවට පැමිණි අතර, ඒ සමගින් ඔහු IPL ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා බවටද පත්විය.

IPLහි වේගවත්ම අර්ධ ශතක:

⦿ යෂස්වි ජයිස්වාල්: පන්දු 13යි

⦿ KL රාහුල්: පන්දු 14යි

⦿ පැට් කමින්ස්: පන්දු 14ක්

⦿ යූසුෆ් පතාන්: පන්දු 15යි

⦿ සුනිල් නාරේන්: පන්දු 15යි  

කවිඳු කාරියවසම්