ඉදිරි වසර 25 සඳහා වු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සහ අදාළ ප්‍රතිසංස්කරණ යෝජනා සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

එය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කල බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන පැවසිය.

ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් සාමාජිකයින් 10දෙනෙකුගෙන් සමන්විතව එම අනුකමිටුව පත්කිරීමට නියමිත වේ.

රටේ ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීමේ ක්‍රියාවලිය අතරතුර කඩිනමින් ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු ප්‍රධාන අංශයක් ලෙස රජය විසින් අධ්‍යාපන ක්ෂේත්‍රය හඳුනාගෙන තිබේ.

ඒ අනුව අදාළ සියලු පාර්ශවයන්ගේ දායකත්වයෙන් නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කෙරෙන බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

නිර්මාණි ගුණරත්න