ත්‍රස්තවාදය වැළක්වීමේ විශේෂ විධිවිධාන ඇතුළත් ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්මත වීම යනු මේ රටේ ජනතාවට තිබෙන නිදහසත් අහිමිවීමේ මළගම යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ එම්. ඒ සුමන්තිරන් පවසයි.

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ ඇතැයි පවසන අවධානම් තත්ත්වය සම්බන්ධයෙන් බුද්ධිමතුන් දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹ පදනම් ආයතන පැවති සම්මන්ත්‍රණයේදී මන්ත්‍රීවරයා මේ බව කීවේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ පවසා ඇත.

‘කිසියම් පුද්ගලයෙකු වැඩි කාලයක් රඳවා තබා ගන්නේ නම් ආරක්ෂක අමාත්‍යවරයාගේ, ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයාගේ අත්සන මත රඳවා තබා ගත හැකියි. නමුත් යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 63 දෙනාගෙන් එක් අයෙකුගේ අත්සනක් ඇතිව වසර දෙකක කාලයක් යම්කිසි පුද්ගලයෙක්ව නඩුවක් ගොනු කිරීමකින් තොරව හා කිසිම චෝදනාවක් නැතිව රඳවා තබා ගත හැකියි.ඊටත් වඩා මෙම යෝජිත පනත් කෙටුම්පතින් ජනාධිපතිවරයාට බලතල රැසක් හිමිව තිබෙනවා. ජනාධිපතිවරයාට තහනම් නියෝග ලබාදීමේ බලය ලැබෙනවා. යමක් වැළක්වීමේ නියෝග ලබාදීමේ බලය ලැබෙනවා. මේ බලතල දෙස බැලීමේදි පෙනී යන්නේ පසුගිය වසර වල සිදුවු යම් සිදුවීම් මතක් වෙනවා. අරගල කාල වලදි කොළඹ ඇතැම් ස්ථාන අධිආරක්ෂක කලාප වශයෙන් නම් කිරීමට උත්සහා දැරීම, අරගලකරුවන් පුනරුත්ථාපනය කිරීමට උත්සහා කිරීම යන තීරණ මේ අතර විශේෂ වෙනවා. පවතින ත්‍රස්තවාදය වැළක්වීමේ පනත මගින් මේ ආකාරයේ තීරණ ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මගින් මෙවැනි තීරණ ක්‍රියාත්මක කිරීමට උත්සහා දරන බවක් පෙනී යනවා. එබැවින් මෙම භායනක පනත් කෙටුම්පතට එරෙහිව සියලුම ජනතාව නැගීසිට ජාතිකවත් ජාත්‍යන්තර වශයෙනුත් සිය විරෝධය පළ කළ යුතුයි.

රාජිනි මෙන්ඩිස්