උත්සව සමය වෙනුවෙන් ඉහළ නැංවූ ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙන තුරු නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසා ඇත.

මෙම ඉන්ධන කෝටාව ඉහල නැංවීම හේතුවෙන් මාසික ඉන්ධන සැලසුමේ වෙනසක් නොවන බව ද ඇමතිවරයා සදහන් කර තිබේ.

පසුගිය සති තුනේ දෛනික ඉන්ධන භාවිතය සහ ඉන්ධන නිකුතුව පිලිබඳ දත්ත නිරීක්ෂණය කිරීමේ දී ඉන්ධන කෝටාව වැඩි කිරීමට පෙර පැවති දෛනික ඉන්ධන නිකුතුව හා සමාන බවද සදහන් වේ.

එමෙන්ම ඉන්ධන කෝටාව ඉහල නැංවීමෙන් පසු QR කේතය අවභාවිතා කිරීම සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙන බවත් ඉන්ධන හල් මඟින් ඉන්ධන කෝටාව වැඩි කිරීමට පෙර පෙට්‍රල් නිකුත් කිරීමේදී 24% ක් QR ක්‍රමයට පරිබාහිරව නිකුත් කල බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

කෙසේ වෙතත් ඉන්ධන කෝටාව වැඩි කල පසු එය 14% දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ.

එමෙන්ම ඉන්ධන හල් මඟින් ඩීසල් නිකුත් කිරීමේ දී 28% ක් වූ QR ක්‍රමවේදයට පරිබාහිරව නිකුත් කිරීම, ඉන්ධන කෝටාව වැඩිකල පසු 15% දක්වා පහළ ගොස් ඇති බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කර ඇත.