එළැබෙන මැයි මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4කට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කර තිබේ.

නාගරික සංවර්ධන අධිකාරි පනතේ විධිවිධාන අනුව රෙගුලාසි පැනවීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන පැවසිය.

නුවරඑළිය ප්‍රදේශයේ සිදුකෙරෙමින් පවතින අවිධිමත් සංවර්ධනය හේතුවෙන් නුවරඑළිය නගරයේ සුන්දරත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවනිත අතර එමගින් සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදුව ඇති බව ජනාධිපතිවරයා පසුගිය දා පැවසීය.

එම නිසා එම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කෙරෙන පරිදි සවිස්තරාත්මක සංචාරක සංවර්ධන ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව, අදාළ සියලුම පාර්ශ්වයන් සම්බන්ධ කර ගනිමින් ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ නුවරඑළිය සංචාරක සංවර්ධන ප්‍රධාන සැලැස්ම සකස් කිරීමටත්, නව ගොඩනැඟිලි ඉදි කිරීම නියාමනය කිරීම සඳහා මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කාර්යසාධක බලකායක් පත් කිරීමටත්, තීරණය කර තිබේ.

නිර්මාණි ගුණරත්න