ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පල කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත ලිපියක් භාර දෙමින් මෙය සදහන් කර ඇත.

මෙම ද්වේශ සහගත අනීතික අසාධාරණ ස්ථාන මාරුකිරීම අනුමත නොකරන ලෙස ඔහු එම ලිපියේ සදහන් කර තිබේ.

නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා පළාතක් භාරව කටයුතු කරන ප්‍රධානියෙක් වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සේවා අවශ්‍යතා මත බව කියමින්, පොලිස් කොමිසමේ අනුමැතියකින් ද තොරව අනීතික ආකාරයෙන් අමාත්‍යාංශයක ලේකම්වරයෙක් විසින් මාරු කිරීමට කටයුතු කිරීම එම නිලධාරීන්ගේ රාජකාරි පෞරුෂයට පමණක් නොව රාජකාරියේ ධාරිතාවට ද බරපතල ප්‍රශ්නයක් වන බව ද එහි සදහන් වේ.

අමාත්‍යාංශ ලේකම්වරයාගේ මේ ක්‍රියාකලාපය හේතුවෙන් අනෙකුත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද වැඩි දෙනෙක් පසුවන්නේ දැඩි කලකිරීමකින් බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය එම ලිපියේ වැඩිදුරටත් පෙන්වා දී ඇත.