පවුල් ලක්ෂ 20කට සහන සැලසෙන සුබ සාධක ප්‍රතිලාභ ලබා දීමේ වැඩසටහන එලැඹෙන  ජූලි මස 01 දා සිට ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය ඇමති ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසා ඇත.

කාණ්ඩ හතරක් යටතේ දිළිඳු පවුල් ලක්ෂ 20කට පමණ මෙමගින් නිශ්චිත කාල රාමුවක් සඳහා මේ යටතේ සහන හිමි වන බව ඇමතිවරයා සදහන් කර ඇත.

ඒ අනුව අන්ත දිළිඳු වර්ගීකරණය යටතේ හඳුනා ගැනෙන පවුල් ලක්ෂ 4ක් සඳහා වසර තුනක කාලයක් මාසිකව රුපියල් 15,000 ක සහනාධාර හිමිවේ.

දුප්පත් වර්ගීකරණය යටතේ හඳුනා ගැනෙන පවුල් ලක්ෂ 8ක් සඳහා වසර තුනකට ලැබෙන මාසික සහනාධාරවල වටිනාකම රුපියල් 8,500 ක් වන අතර  අවධානමට ලක් වූ වර්ගීකරණය යටතේ පවුල් ලක්ෂ 4ක් වෙනුවෙන් ලබන වසරේ මාර්තු 31 දක්වා කාලය තුළ මාසිකව ලැබෙන ප්‍රතිලාභය  රුපියල් 5,000 ක් වේ.

සංක්‍රාන්තික  වර්ගීකරණය යටතේ වන පවුල් ලක්ෂ 4ක් සඳහා මෙම වසරේ දෙසැම්බර් 31 දක්වා රුපියල් 2,500  බැගින් මාසික ප්‍රතිලාභ හිමි වනු ඇති බව ද  ඇමතිවරයා පෙන්වා  දි ඇත.

මෙම ප්‍රතිලාභ ලබා දෙනු ලබන කාලය සහ ඊට අන්තර්ගත පවුල් සංඛ්‍යාව  ඉහළ නංවා ගැනීමේ බලය පාර්ලිමෙන්තුවට ඇති බවත්  අදාළ කාලය තුළ ඔවුන් සවිබල ගැන්වීම රජයේ අපේක්ෂාව බවත් ඔහු සදහන් කර තිබේ.

2019  දී නිකුත් කළ ලෝක බැංකු වාර්තාවකට අනුව මෙරට රජයේ සුබ සාධන වැඩපිළි‍වෙළ මගින් සහන ලබා ගන්නා 12%ක් පිරිස වැඩි ආදායම්ලාභීන් බව පෙන්වා දී ඇති අතර  එය වළක්වා ගැනීමට කටයුතු කරන බව ද හෙතෙම ප්‍රකාශ කර ඇත.

සහනාධාරි හිමි නාමලේඛන ප්‍රසිද්ධ කිරීමෙන් පසු ඒ පිළිබඳ විරෝධතා දැක්වීමේ සහ අභියාචනා ගොනු කිරීමේ හැකියාව පවතින බව ද ඇමතිවරයා වැඩිදුරටත් පවසා ඇත.