පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ප්‍රතිත්‍රස්ත පනත ඉදිරිපත් කිරීම තවත් සති කිහිපයක් ප්‍රමාද කිරීමට කටයුතු කළ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සදහන් කර ඇත.

ජනාධිපතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු එම තීරණය ගත් බව අමාත්‍යවරයා පවසා තිබේ.

අලුත් අවුරුද්දෙන් පසුව පළමුවරට පාර්ලිමේන්තුව අද (25) පෙරවරු 09.30ට රැස්වේ.

අපරාධ නඩු විධාන සංග්‍රහය පනත යටතේ 2023 ජනවාරි මස 30 දිනැති අංක 2217/28 ගැසට් පත්‍රයේ පළකළ නියමය අද විවාදයට ගැනීමට නියමිතය.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට (26) සිට ආරම්භ වේ.

ඒ අනුව හෙට සිට ලබන 28 වන දින දක්වා දින තුනක් තුළ විවාදය පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කර ඇත.

නිර්මාණි ගුණරත්න