විදේශ ගමන් බලපත්‍රය දින තුනක් ඇතුළත අයදුම්කරුවන් වෙත ලබා දීම සඳහා ඉන්ටර්නෙට් ඔස්සේ අයැදුම් කිරීමේ විධිමත් ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසා ඇත.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළට අනුව මෙම පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම  විදේශයෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට නව විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලයෙන් අයැදුම් කිරීමේ අවස්ථාව ජූනි 1දා සිට ක්‍රියාත්මක ය.

නව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී ඒ අනුව ජූනි මස 1 වන දා සිට ඉන්ටර්නෙට් ඔස්සේ අයැදුම් කළ හැකි බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ විය.

ඉන්ටර්නෙට් හරහා වීසා අයැදුම් කිරීමේදී අපහසුවකින් තොරව එය කර ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීමට ද කාරක සභාවේ අවධානය යොමු විය.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීම එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි.

මෙම රැස්වීමට සහභාගි වූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ බව පවසා ඇත.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට නොපැමිණ අන්තර්ජාලය හරහා ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකි බව නිලධාරීන් පෙන්වා දී තිබේ.

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය ක්‍රියාත්මක කිරීම පිළිබඳවද කමිටුව මෙහිදී සාකච්ඡා කර ඇත.

මෙම ක්‍රියාවලිය කඩිනම් කරන මෙන් කාරක සභාවේ සභාපති විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දීම තිබේ.

ඉන්ටර්නෙට් හරහා වීසා අයැදුම් කිරීමේදී දක්නට ලැබෙන අඩුපාඩු ඇතුළු විවිධ කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.

ඒ සඳහා විදේශිකයන්ට අපහසුවකින් තොරව සිය වීසා ලබා ගැනීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කර ක්‍රියාත්මක කරන ලෙසත් දේශීය මෙන්ම විදේශිකයන් සඳහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල්වල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාරක සභාවේ සභාපති විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඉහළ ආදායම් ලබන යුරෝපය වැනි රටවලින් සංචාරකයන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළ අතර ඒ සඳහා අවශ්‍ය පියවර නොපමාව ගන්නා ලෙස ද කාරක සභාවේ සභාපති විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.