බ්‍රිතාන්‍යය ඇතුළු යටත්විජිත රාජ්‍යයන් පාලනය කළ දෙවැනි එලිසබෙත් රැජිනගේ අභාවයත් සමග තෙවන චාල්ස් නමින් රාජ්‍යත්වයට පත් චාල්ස් රජුගේ රාජාභිෂේකය අද (06) පැවැත්විණි.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් හි වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ දී බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු නිල වශයෙන් අද ඔටුනු පැළඳීය.

ඒ වසර 70 කට පසු බ්‍රිතාන්‍යයේ පැවැත්වුණු පළමු රාජාභිෂේකය ලෙස ඉතිහාසයට එක් වෙමින්ය.

මේ අතර කැමිලා බිසව එක්සත් රාජධානියේ රැජින ලෙස කිරුළු පැළඳුවාය.

1953 වසරේ පැවැති දෙවැනි එලිසබෙත් රැජිනගේ රාජාභිෂේකයට සාපේක්ෂව වඩාත් සරල සහ කෙටි උත්සවයක් ලෙස මෙවර රාජාභිෂේකය සැලසුම් කර තිබුණි.

වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වයක් ඇති විය හැකි බවට පුරෝකතනය කර තිබුණ ද දෙස් විදෙස් වැසියන් පෙර දින සිටම ද මෝල් මාර්ගය දෙපස රැස්වී සිටි අන්දම විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

III චාල්ස් රජුගේ රාජාභිෂේක සැමරුම් විධිමත්ව ආරම්භ කෙරුණේ බකිංහැම් මාළිගයේ සිට වෙස්ට්මින්ස්ටර් ඇබේ වෙත ගමන් කරනා පෙරහැරකිනි.

2022 වසරේ සිදුවූ දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවයත් සමඟ නව රජු ලෙස  එවක 73වන වියේ පසු වූ චාල්ස් කුමරු, තෙවැනි චාල්ස් රජු නමින් පත් විය.

ඒ රජ්‍යත්වයට පත් වයස්ගතම බ්‍රිතාන්‍ය රජු බවට පත් වෙමිනි