ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවැති ලක්නව් සුපර්ජයන්ට්ස් සහ මුම්බායි ඉන්දියන්ස් අතර තරගයේ අවසන් පන්දුවාරයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට තරගය ජයගැනීම සඳහා ලකුණු 11ක් අවශ්‍ය වී තිබිණි.

නමුත් ලක්නව් සුපර්ජයන්ට්ස් වෙනුවෙන් අවසන් පන්දුවාරය යොමු කළ මොහ්සින් ඛාන් අවසන් පන්දුවාරය ලකුණු 05කට සීමා කරමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය. ඒත් සමගින් තරගයේ ජය ලක්නව් සුපර්ජයන්ට්ස් කණ්ඩායමට හිමි විය. මෙම තරගය පරාජය වූවා නම් ලක්නව් සුපර්ජයන්ට්ස් කණ්ඩායමට PlayOff වටය සඳහා සුදුසුකම් ලබාගැනීම වඩාත් අපහසු වනු ඇත.

මෙම තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ මොහ්සින් ඛාන්,

“කනගාටුදායක ලෙස මගේ පියා සිටියේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ, ඔහු ඊයේ ඩිස්චාර්ජ් වූ නිසා මම ඔහු වෙනුවෙන් මෙම තරගය ක්‍රීඩා කළා. තාත්තා ටීවී එකෙන් මැච් එක බලන්න ඇති. ඒ නිසා මම ඔහු වෙනුවෙන් මෙම තරගය සෙල්ලම් කළා. එයා පසුගිය දවස් දහයේ ICU එකේ හිටියේ. අද එයා ගොඩක් සතුටු වෙන්න ඇති” යනුවෙන් පවසා සි‌ටියේය.

පසුගිය වස‌රේ අයි.පී.එල්. තරගාවලිය ඔහුගේ මංගල IPL තරග වාරය වූ අතර එහිදී ඔහු තරග 09කදී කඩුලු 14ක් දවා ගත්තේය. පසුව එක් තරගයක් අතරතුර මොහ්සින් බරපතළ උරහිසේ ආබාධයකට ලක් වූ අතර අනතුරුව වසරක් පුරා ඔහු කිසිදු තරගයක් ක්‍රීඩා කළේ නැත.

කවිඳු කාරියවසම්