‘කාදිනල් උන්නාන්සේට ලොකු වුවමනාවක් තියෙනවා මේක ඉක්මනට ඉවර කරලා මාව හිරේ දාන්න හරි එල්ලුම් ගස් යවන්න හරි. නමුත් ඒ පාපකර්මය ඔහු ඉවර කරන්න හදන්නේ මේ පරීක්ෂණ ඉවර නොවී’ යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර ඇත.

‘පාස්කු ප්‍රහාරයේ වාර්තාව කතෝලික සභාවට දෙන්න පෙර පාර්ලිමේන්තුවට දෙන්න’ යැයිද ඔහු ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදී සදහන් කර තිබේ.

හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පවසා ඇත.

‘මම ජනාධිපති ලෙස හිටපු කාලේ පාස්කු ප්‍රහාරය ඇතිවෙච්ච වෙලාවේ සති තුනක් ඇතුළත සහරාන්ගේ ත්‍රස්තවාදී සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න පුළුවන්කම ලැබුණා. ඒක කරන්න පුළුවන් වුණේ ඒ වෙලාවේ පැවැති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නිසයි. රටකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් අවශ්‍යයි. මේ පනත බරපතළ වැඩියි, දරුණු වැඩියි කියලා මගේ කාලයේදීත් ජාත්‍යන්තරයෙන් බලපෑම් ආවා. ඒ පනත අහෝසි කරලා තමයි මේ අලුත් පනතක් එන්නේ.ලෝකයේ ත්‍රස්තවාදී ප්‍රහාර සිදුවූ පසුව ඒවායේ වාර්තා එන්න අවුරුදු දහය පහළොව ගිහින් තියෙනවා. අපේ රටේ පනතක් මගින් සිදුවිය යුත්තේ එවැනි ආකාරයේ ප්‍රමාදයන් සිදු නොවී පවතින නීතිමය බලය ත්‍රස්තවාදය සඳහා පමණක් භාවිත කිරීමයි.පාස්කු ප්‍රහාරය ගැන අද අවුල් සහගත තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා අද වනතුරු අවසන් පරීක්ෂණ වාර්තාවක් නෑ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවශ්‍ය වන්නේ ත්‍රස්තවාදය සඳහා පමණයි වෙනත් කාරණා සඳහා නොවෙයි.පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මම පත්කරපු කොමිෂන් සභාවේ වාර්තාව කොමසාරිස්වරු ගිහින් හිටපු ජනාධිපතිවරයාට භාර දෙද්දී, වෙනම ෆයිල් එකක් ගිහින් භාර දුන්නා ජනාධිපතිට විතරක්. ඒවත් දෙන්න එළියට’

‘මේ පරීක්ෂණ තවමත් යවනවා. ලෝකයේ රටවල් ගණනක බුද්ධි අංශවල විශේෂඥයෝ ලංකාවට ආවා. සහරාන්ගේ ජංගම දුරකථනයේ දත්ත එක්තරා රටක බුද්ධි අංශවලට ගෙනියන්න දුන්නේ කවුද. ඒවායේත් ඇති කරුණු. මේක නූල් බෝලයක් වගේ පැටලුණු එකක්.මාව මරාගෙන විතරනේ කන්න හදන්නේ. මගේ මස් මාළු ඇට මිදුලු විතරයි කන්න හදන්නේ. සහරාන්ගේ ගෝලයෝ ඉන්නවා. මම සති තුනකින් සහරාන්ගේ කල්ලිය විනාශ කළා. පෙර කරුමයක් මගේ පස්සේ එළවනවා. බෝම්බ ගහපු එවුන්ට විරුද්ධව නඩු පවරපල්ලකෝ. ඒ පස්සේ පලයල්ලකෝ. ත්‍රස්තයෝ හොඳට නාලා,සබන් ගාගෙන,කාලා බීලා හිර ගෙදර ඉන්නවා. අපිට තමයි වැඩේ දෙන්න හදන්නේ. මේක වෙන ලයින් එකක්’