ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ක්‍රීඩක යුපුන් අබේකෝන් 2023 වසරේ සිය පළමු ඩයමන්ඩ් ලීග් (Diamond League) ඉසව්ව සඳහා ජුනි 02වැනිදා සහභාගි වේ. ඒ අනුව ඔහු ඉතාලියේ පැවැත්වෙන ෆ්ලෝරන්ස් ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මලල ක්‍රීඩා පිටියේ සිටින ප්‍රබලතම ක්‍රීඩකයන් රැසක් සමග තරග වදිනු ඇත.

ෆ්ලෝරන්ස් ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී යුපුන් අබේකෝන්, වත්මන් ඔලිම්පික් ශූරයා වන Lamont Marcell Jacobs, වත්මන් ලෝක ශූරයා වන Fred Kerley,
පසුගිය වසරේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී පිළිවෙළින් රන් හා රිදී පදක්කම් දිනූ කෙන්යානු ජාතික Ferdinand Omanyala සහ දකුණු අප්‍රිකානු ජාතික Akani Simbine, ඇමෙරිකානු ජාතික Trayvon Bromell, ජැමෙයිකානු ජාතික Yohan Blake සහ ඉතාලි ජාතික Samuele Ceccarelli සමඟින් තරග වැදීමට නියමිතය.

මෙම තරගයට ඇතුළත්ව තිබෙන ක්‍රීඩකයන් 08 දෙනා අතරින් 07දෙනෙකු මීටර් 100 ඉසව්ව තත්පර 10ට අඩු කාලයකින් අවසන් කර ඇති ක්‍රීඩකයන් වීමද විශේෂත්වයකි.

ඩයමන්ඩ් ලීගයකට සහභාගි වූ පළමු සහ එකම ශ්‍රී ලංකික ක්‍රීඩකයා වන්නේද යුපුන් අබේකෝන්ය. ඔහු පළමු වරට 2021 වසරේදී Zurich ඩයමන්ඩ් ලීගයට සහභාගි විය.

යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ ජාතික සහ දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන අතර, ඔහු මීටර් 100 ඉසව්ව තත්පර 9.96ක කාලයකින් අවසන් කරමින් තත්පර 10ට අඩු කාලයකින් එම ඉසව්ව අවසන් කළ පළමු සහ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවටද පත් විය.

කවිඳු කාරියවසම්