බොලිවුඩ් සිනමාවේ ක්‍රියාදාම චිත්‍රපට නිර්මාණකරුවන් අතර ඉදිරියෙන්ම සිටින්නෙක් විදියට රෝහිත් ශෙට්ටි හඳුන්වන්න පුළුවන්.
2010 දී තිරගත වූ Singam දමිළ චිත්‍රපටය පාදක කර ගනිමින් රෝහිත් ශෙට්ටි සිය ප්‍රථම පොලිස් චිත්‍රපටය වූ Singham නිර්මාණය කළා. එය 2011 වර්ෂයේ දී තිරගත කළ අතර, එහි දෙවැන්න 2014 වර්ෂයේදී Singham retuns නමින් තිරගත කෙරුණා. සුපිරි බොලිවුඩ් නළු අජේ දේව්ගන් විසින් ප්‍රධාන චරිතය නිරූපණය කළ මෙම චිත්‍රපට දෙකම ප්‍රේක්ෂකයින් වැළඳගත්තේ බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා පිහිටුවමින්.

ඉන් නොනැවතුණු රෝහිත්, රන්වීර් සිං සමඟ Simmba චිත්‍රපටයත් (2014), 90 දශකයේ සිට තවමත් බොලිවුඩයේ ක්‍රියාදාම තරු අතර පෙරමුණේ පසුවන ආක්ශේ කුමාර් සමඟ Sooryavanshi චිත්‍රපටයත් (2018) නිර්මාණය කරමින් පොලිස් චිත්‍රපට මාලාවක (Cop Universe) නිර්මාණකරුවා බවට පත්වුණා. එපමණක් නෙවෙයි මෙම චිත්‍රපට හතර ඉන්දියානු රුපියල් කෝටි 679ක ආදායමක් උපයා ගැනීමට ද සමත් වුණා.

මේ අතර, රෝහිත් සිය Cop Universe හි 5වැන්න එනම්, Singham හි තෙවන දිගහැරුම Singham Again නමින් නිශ්පාදනය කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බවයි බොලිවුඩයෙන් වාර්තාවන්නේ. එහි රූගත කිරීම් මෙම වසරේ අගෝස්තු මාසයේ දී ආරම්භ වීමට නියමිත අතර, ඉන්දියාවේ නිදහස් දිනයට සමගාමීව 2024 අගෝස්තු 15 දින තිරගත කිරීමට ද සැලසුම්කර තිබෙනවා. අති විශාල නිෂ්පාදන පිරිවැයක් වැය කරමින් නිර්මාණය වන Singham Again රෝහිත් ෂෙට්ටිගේ පොලිස් විශ්වයේ දැවැන්තම නිර්මාණය වනු ඇති අතර, විචාරකයින් පවසන්නේ Singham Again චිත්‍රපටය, Rohith Shetty’s Cop Universe කෝටි 1000 සමාජයට පහසුවෙන් රැගෙන යනු ඇති බවයි.

අජේ දේව්ගන් (Bajirao Singham) සමඟ ආක්ෂේ කුමාර් (Veer Sooryavanshi) සහ රන්වීර් සිං (Simmba) ද මෙහි චරිත නිරූපණය කරන බව වාර්තා වනවා. කරීනා කපූර් ඛාන් අව්නි ලෙස ඇයගේ චරිතය නැවත නිරූපණය කරන අතර, දීපිකා පදුකෝන් කාන්තා පොලිස් නිලධාරිනියක ලෙස ගරු රංගනයක යෙදෙන බවටද වාර්තා පළවී තිබෙනවා. පසුගිය වසරේ තිරගත කළ රෝහිත් ශෙට්ටි ගේ Cirkus චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු අතරතුර දී, සිය පොලිස් විශ්වයට කාන්තා පොලිස් චරිතයක් ඉතාම අත්‍යාවශ්‍ය බව පවසමින් පොලිස් විශ්වයට එක් වන ප්‍රධාන කාන්තා චරිතයක් පිළිබඳව ඔහු ඉඟි පළ කර තිබුණා. ඒ අනුව, එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ දීපිකා පදුකෝන් බවටත්, Singham Again හි ගරු රංගනය ඇගේ චරිතය ප්‍රේක්ෂකයා වෙත හඳුන්වා දීමක් වන බවයි චිත්‍රපට විචාරකයින් පවසන්නේ. කෙසේ වෙතත් කාන්තා පොලිස් නිලධාරිනියක් වටා ගෙතෙන ක්‍රියාදාම චිත්‍රපටයක අපූරු අත්දැකීම ඉදිරියේදී විඳගැනීමට බොලිවුඩ් රසිකයන්ට හැකිවන බව නම් ස්ථිරයි.

එපමණක් නොවේ, Rohith Shetty’s Cop Universe රිදී තිරයට පමණක් සීමා කිරීමට රෝහිත් සූදානම් නැහැ. Indian Police Force නමින් වෙබ් කථා මාලාවක් නිර්මාණය කරමින් සිය පොලිස් ක්‍රියාන්විතයේ ඩිජිටල් ආගමනය සනිටුහන් කරන්නට රෝහිත් සූදානම්වන බවත් මේ වන විට බොලිවූඩ් ලෝලීන්ට නොරහසක්. මෙතෙක් ඉන්දියාවේ නිශ්පාදනය කරන ලද අති දැවැන්තම ක්‍රියාදාම වෙබ් කතා මාලාව ද වන Indian Police Force හි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සිද්ධාර්ත් මල්හෝත්‍රා (SP Kabir Malik), විවේක් ඔබ්රෝයි (IGP Vijay Rathore) සහ ශිල්පා ශෙට්ටි (ASP Saima Qureshi) යන සුපිරි බොලිවුඩ් ශිල්පීන් විසින් වන අතර තවත් සුපිරි බොලිවුඩ් තරු රැසක්ම මේ සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා. නිකුත් කරන දිනයක් පිළිබඳ ව තවමත් නිල වශයෙන් නිවේදනය කර නොමැති නමුත්, මෙම නිර්මාණය Amazon Prime Video ඔස්සේ මෙම වසර තුළ දී බොලිවුඩ් රසික ඔබට රසවිඳිය හැකි වනු ඇති බවයි බොලිවුඩ් ආරංචි මාර්ග පවසන්නේ.

උමේෂ් ද සිල්වා