සිව්වැනි වරට පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට කැමති විදේශීය ක්‍රීඩකයන්ට දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩවිය ඔස්සේ ඊට ලියාපදිංචි විය හැක. එහිදී විදේශීය ක්‍රීඩකයන්ට capped සහ uncapped යන කාණ්ඩ දෙකක් යටතේ ලියාපදිංචි විය හැක.

capped ක්‍රීඩකයන්

ක්‍රීඩකයෙකු ටෙස්ට්, එක්දින හෝ T20 ආකෘතිවලින් තම රට වෙනුවෙන් අවම වශයෙන් එක් තරගයක් හෝ ක්‍රීඩා කර ඇත්නම් ඔවුන් capped ක්‍රීඩකයන්ලෙස සලකනු ලබයි.

uncapped ක්‍රීඩකයන්

ක්‍රීඩකයෙකු ලෙස තම රට නියෝජනය නොකළත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පූර්ණ හෝ ආශ්‍රිත සාමාජිකයෙකු විසින් අනුමත කරන ලද ෆ්‍රැන්චයිස් ලීගයක හෝ තම රට තුළ පළමු පෙළ T20 ක්‍රිකට් තරගයක ක්‍රීඩා කර ක්‍රීඩකයන් uncapped ක්‍රීඩකයන් ලෙස සලකනු ලබයි.
හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පූර්ණ හෝ ආශ්‍රිත සාමාජිකයෙකු විසින් අනුමත කරන ලද ෆ්‍රැන්චයිස් ලීගයක තවමත් ක්‍රීඩා කරන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ටද මේ සඳහා ලියාපදිංචි විය හැකිය.මෙම මස 25වැනිදා දක්වා මෙම ක්‍රීඩකයන්ට ලියාපදිංචි විය හැක.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ජූලි 30වැනිදා සිට අගෝස්තු 20වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

කවිඳු කාරියවසම්