ලෝක ටෙස්ට් ඉතිහාසයේ පිතිකරු‌වෙකු විසින් එතෙක් මෙතෙක් ක්‍රීඩා කළ හොඳම ටෙස්ට් ඉනිම ලෙස කුසල් ජනිත් පෙරේරා දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 153 ඉනිම නම් කිරීමට ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය කටයුතු කර තිබේ.

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය මගින්  නිර්ණායක කිහිපයක් ඔස්සේ සිදු කළ විශ්ලේෂණයකින් අනතුරුව කුසල් ජනිත්ගේ ඉනිම හොඳම ටෙස්ට් ඉනිම ලෙස නම් කිරීමට කටයුතු කර ඇත. කුසල් විසින් 2019 වසරේ ඩර්බන්හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී පන්දු 200කින් ලකුණු 153ක් නොදැවී රැස් කළේය. එම ඉනිම හේතුවෙන් එම තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමටද ශ්‍රී ලංකාවට හැකි විය.

හොඳම ටෙස්ට් ඉනිම් අතරින් දෙවැනි ස්ථානය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්යල් මේයර්ස්ට හිමිව තිබේ. ඒ ඔහු 2021 වසරේ බංග්ලාදේශයට එරෙහිව නොදැවි රැස් කළ ලකුණු 210ක ඉනිම වෙනුවෙනි. එහි තෙවැනි ස්ථානය ඉන්දියාවේ වී.වී.එස්. ලක්ෂ්මන්ට හිමිව ඇත.

මෙම ලැයිස්තුවේ 14වැනි ස්ථානය හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සනත් ජයසූරියට හිමිව ඇති අතර, ඒ ඔහු  පාකිස්තානයට එරෙහිව 2004 වසරේදී රැස් කළ ලකුණු 253 වෙනුවෙනි. මෙහි 17වැනි ස්ථානය දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබේ. ඒ චන්දිමාල් 2015 වසරේදී ඉන්දියාවට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 162 හේතුවෙනි. එහි 19වැනි තැන මහේල ජයවර්ධනට හිමිව ඇති අතර, ඒ මහේල 2012දී එංගලන්තයට එරෙහිව රැස් කළ ලකුණු 180 වෙනුවෙනි.

කවිඳු කාරියවසම්