වයඹ පළාත තුළට සහ ඉන් පිටතට ගවයන් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

වයඹ පළාතේ ගවයන් අතර සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් රෝගය පාලනය කිරීම සඳහා එම පියවර ගෙන ඇත.

ගවයන්ගේ සම ආශ්‍රිතව ඇතිවන Lumpy Sceen diseases නැමති වෛරස් රෝගය මේ වන විට වයඹ පළාතේ පිහිටි පශු වෛද්‍ය නිලධාරි කොට්ඨාස 46 න් 34 කටම පැතිර ගොස් තිබේ.

ඉකුත් 2019 වසරේදී මෙම රෝගය ඉන්දියාව හරහා යාපනයටත් ඉන් පසුව උතුරු මැද පළාත හරහා වයඹ පළාතටත් සංක්‍රමණය වී ඇති බවත්, ගවයන්ට මෙම රෝගය වැළඳීමෙන් පසුව කිරි නිෂ්පාදනය අඩුවන බවත් ඒ තුළින් වයඹ පළාතේ කිරි නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවත් සදහන් වේ.

මෙම රෝගය වැළැදීම හේතුවෙන් ගවයන් මියයාමේ ප්‍රතිශතය ඉතාම අවම මට්ටමක පැවතින අතර, රෝගය නිසි ලෙස කළමණාකරනය කර ගනිමින් සතුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදුනහොත් සති තුනක වැනි කාලයකදී සතුන් සුවපත් කර ගැනීමේ හැකියාවක් පවතින බවද දැක්වේ.

මෙම රෝගය පාලනයකට ලක් කරන තෙක් ගව මස් ආහාරයට ගැනීමෙන් වළකින ලෙසටද ජනතාව දැනුවත් කර ඇත.