ත්‍රිරෝද රථ විදුලි බලයට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතිය දියත් කිරීමේ වැඩසටහන අද (මැයි 12) වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදු කර තිබේ.

පරිසර හිතකාමී තිරසාර ප්‍රවාහන මාධ්‍යයන් වෙත ශ්‍රී ලංකාව යොමු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ප්‍රවාහන අමාත්‍යංශය, විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඇතුළු ආයතන එක්ව මෙරටට විදුලි බලය භාවිත කෙරෙන ප්‍රවාහන මාධ්‍යයන් හඳුන්වාදීම සඳහා මෙම වැඩසටහන දියත් කර ඇත.

ජනතාවට ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීම, පරිසර දූෂණය අවම කර තිරසර සංවර්ධන ව්‍යාපෘති සඳහා පහසුකම් සැලසීම, ප්‍රවාහන මාධ්‍යයන් වැඩිදියුණු කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ අත්‍යවශ්‍ය සේවා නගා සිටුවීම පෙට්‍රල් ත්‍රිරෝද රථ විදුලි ත්‍රිරෝද බවට පත්කිරීම පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වේ.

වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය යටතේ පෙට්‍රල් ත්‍රිරෝද 200ක්‌ විදුලි ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කෙරන අතර බස්නාහිර පළාත තුළ මාකුඹුර සහ පිටකොටුව යන කලාප දෙකෙන් ත්‍රීරෝද රථ 100 බැගින් ඒ සඳහා තෝරාගනු ලැබේ.