වව්නියාව වෙඩුක්කුනාරි ආදි සිවන් කෝවිල පරිශ්‍රයේ ආගමික වතාවත් සිදු කිරීමට කිසිදු රාජ්‍ය නිළධාරියෙකු බාධා නොකළ යුතු යැයි වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම නියෝගය අධිකරණය විසින් පොලිසියටද ලබා දී ඇත.

වව්නියාව වෙඩුක්කුනාරී ආදි සිවත් කෝවිල කඩා බිද දැමීමේ නඩුව පසුගියදා වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනුණු අතර එම කෝවිලේ පාලනාධිකාරිය වෙනුවෙන් ජනාධිපති නිතීඥ එම්. ඒ සුමන්තිරන් මහතා පෙනී සිටියේය.

වෙඩුක්කුනාරි ආදි සිවන් කෝවිල කඩා බිඳ දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර මෙහිදී පොලිසිය අධිකරණය වෙත දන්වා තිබුණේ නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් කෝවිල් පරිශ්‍රය බිඳ දමා ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වන බවය.

මෙහිදි පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමන්තිරන් අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පුද්ගලයෙකුට තමන් අදහන ඕනෑම දෙයක් වන්දනාමාන කිරීමේ නිදහස ඇති බවය.

ඒ අනුව පුරාවිද්‍යා සංකේතයක් වුවත් එය ජනතාව වන්දනාමාන කරයි නම් ඒ සදහා ඔවුන්ට නිදහසක් ඇති බවත් එම නිදහසට බාධා කරයි නම් අනුරාධපුර පොළොන්නරුව වැනි ප්‍රදේශ වල ඇති බොහෝමයක් ආගමික සංකේත වර්තමානයේදී වන්දනාමාන කිරීමට අවස්ථාව නොලැබෙනු ඇති බවද සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ පෙන්වා දී ඇත.

ඒ අනුව බැතිමතුන්ට වෙඩුක්කුනා ආදිසිටත් කෝවිල් පරිශ්‍රයට ගොස් වන්දනාමාන කිරීමට කිසිවෙකුත් බාධා නොකළ යුතු යැයි අධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

රාජිනි මෙන්ඩිස්