සිද්ධාර්ථ ගෞතමයන්ගේ උපත, සම්බුද්ධත්වය හා පරිනිර්වාණය යෙදුණු වෙසක් පුන් පොහෝ දිනය ඊයේ  (මැයි 5) දිනයේ යෙදී තිබිණි.

බෞද්ධ ජනතාවගේ ප්‍රධාන ම ආගමික උත්සවය වන මෙම උතුම් මංගල්‍යය සැමරීම සඳහා මෙරට ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් යුතුව පෙළ ගැසීණි.

මේ අනුව දළදා මාලිගාව, අටමස්ථාන ඇතුළු දිවයිනේ සියලු ම වෙහෙර විහාරස්ථානවල දාන, සීල, භාවනා මෙන් ම තොරන් දන්සල් ආදී විවිධ පුණ්‍ය ක්‍රියාවන් සංවිධානය කර තිබිණි.

මෙම වෙසක් මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය හලාවත කැබැල්ලෑව ශ්‍රී තනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර එම උත්සවය මෙම 8 දින දක්වා පැවැත්වේ.

බුද්ධ රශ්මි ජාතික වෙසක් උළෙලට සමගාමීව කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉන්දියාවේ පොහොසත් බෞද්ධ උරුමය පිළිබඳ විශේෂ ප්‍රදර්ශනයක් කොළඹ, ගංගාරාම විහාරයේ සීමා මාලකයේදී සංවිධානය කර තිබේ.

මෙම ප්‍රදර්ශනය මැයි  5,6,7 යන තෙදින තුළ මහ ජනතාව සඳහා විවෘතව පවතින බවද ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

එමෙන්ම වෙසක් පොහොය දිනය නිමිති කරගනිම් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ද වර්ණවත් අයුරින් වෙසක් සැරසිලි සිදු කර තිබිණි.

ගංගාරාම විහාරස්ථානය,  ජනාධිපති  කාර්යාලය සහ අගමැති කාර්යාලය එක්ව සංවිධානය කරන ලද “බුද්ධ රශ්මි” ජාතික වෙසක් මංගල්‍යය 2023  මෙවර විචිත්‍රවත් අයුරින් පැවැත්විණි.

නිර්මාණි ගුණරත්න / ඡායාරූප – දිනූක ගුණවර්​ධ​න