ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙත දේශපාලන මැදිහත්වීම් ඇත්දැයි සොයාබැලීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජා මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් අද (10) දින ශ්‍රී ලංකාවට පැමිණේ.

මෙම නියෝජිත පිරිස විසින් ශ්‍රී ලංකාවේ දැනට පවතින ක්‍රිකට් පරිපාලන පසුබිම පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.

එහිදී ඔවුන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ පාර්ශ්ව කිහිපයක් සමඟ සාකච්ඡා කර තොරතුරු ලබාගැනීමට නියමිතව තිබේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අයි.සී.සී. සභාපති ග්‍රෙගර් ජෝන් බාර්ක්ලේ මහතා වෙත ලිපියක් යොමුකරමින්, රටේ ධනවත්ම ක්‍රීඩා ආයතනය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද අයි.සී.සී.ය වෙත පැමිණිල්ලක් යොමු කරේ තම ක්‍රීඩා සංගමය වෙත දේශපාලනික බලපෑම් ඇති බව සඳහන් කරමිනි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් ඇත්දැයි සොයා බැලීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සියේ නියෝජිත පිරිස මෙරටට පැමිණේ.

දින දෙකක කාලයක් මෙරට රැඳී සිටින මෙම නියෝජිත පිරිස ඔවුන්ගේ මේ පිළිබඳ වාර්තාව කඩිනමින් අයි.සී.සී.ය වෙත භාරදීමට නියමිතය.

කවිඳු කාරියවසම්