ලොව ඉහළම ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලක් ලෙස සැලකෙන ප්‍රංශයේ “ කෑන්ස් සිනමා උළෙලේ” ජූරි සභාවකට ශ්‍රී ලාංකීය තරුණ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වන සංජීව පුෂ්පකුමාර මහතා තෝරාගෙන ඇත.

“හෙළයේ මහා සිනමාවේදියා වූ” ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරින් ද මෙහි ප්‍රධාන ජූරියේ කටයුතු කර ඇති අතර ඉන් පසු ලාංකිකයකුට ලැබුණු අවස්ථාවක් ලෙස මෙය සැලකේ.

එලැබෙන  16 වැනිදා සිට 27 වැනිදා දක්වා ප්‍රංශයේ පැවැත්වෙන ” 76 වැනි කෑන්ස් සිනමා උළෙලේ” නේවාසික චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන්ගේ සහ අප්‍රිකා, කැරිබියන් සහ පැසිපික් කලාපයේ චිත්‍රපට නිෂ්පාදකයන්ගේ නිර්මාණය කිරීමට නියමිත ප්‍රථම හා දෙවැනි චිත්‍රපට ව්‍යාපෘති අතුරින් හොඳම ව්‍යාපෘතිය තෝරාගැනීමේ ජූරි සභාවට සංජිව තේරී  පත්ව ඇත.

ජගත් සම්මානලාභී ඊශ්‍රායල ජාතික චිත්‍රපට අධ්‍යක්‍ෂ නවාව් ලෆීඩ් හා ප්‍රංශ ජාතික චිත්‍රපට නිෂ්පාදිකා ජූලි පරාතියන් මෙහිදී සංජීව සමග ජුරි සභාවේ කටයුතු කිරීමට නියමිතය.

දකුණු කොරියාවේ සෝල් නුවර චුන්ග් අංග් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්‍ෂකයකු වන සංජීව පුෂ්ප කුමාර, ප්‍රංශයේ පැරිස් නුවර නේවාසිකව සිටිමින් ඔහුගේ මීළඟ චිත්‍රපටය වන “අම්මා” චිත්‍රපටයේ තිර රචනය ලියමින් සිටින බවද සදහන් වේ.