ස්වීඩන් පාපන්දු පුරාවෘත්තය ඉබ්‍රහිමෝවිච් පාපන්දුවට සමුදෙයි

ස්වීඩන් ජාතික පාපන්දු පුරාවෘත්තයක් වන Zlatan Ibrahimovic සිය පාපන්දු ජීවිතයට සමුදීමට තීරණය කර ඇති බව BBC මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. බොහෝ දෙනෙක් ඔහුව “ඉබ්‍රා” යන සුරතල් නාමයෙන් හඳුන්වනු ලබයි.
“මම පාපන්දු ක්‍රීඩාවෙන් සමුගන්නවා, නමුත් ඔබෙන් සමුගන්නේ නැහැ” යනුවෙන් සිය අවසන් තරගයෙන් පසු ඉබ්‍රා සැන් සිරෝ ප්‍රේක්ෂකයන්ට පැවසීය.

AC මිලාන්, ඉන්ටර් මිලාන්, පැරිස් සෙන්ට් ජර්මේන්, මැන්චෙස්ටර් යුනයිටඩ් වැනි කණ්ඩායම් නියෝජනය කරමින් ඔහු ක්‍රීඩා සමාජ ගෝල 511ක් රැස් කරගෙන තිබේ. ඉබ්‍රා ඔහුගේ වෘත්තිය ජීවිතය තුළ ලීග් ශූරතා 14ක් ඇතුළුව කුසලාන 34ක් දිනාගෙන ඇති අතර 11 වතාවක් Ballon d’Or සම්මානය සඳහා නිර්දේශ වී තිබේ.

එමෙන්ම තරග 122කදී ජාත්‍යන්තර ගෝල 62ක් ලබාගනිමින් ස්වීඩනයේ වැඩිම ගෝලලාභියා ලෙස ඉබ්‍රා විශ්‍රාම යයි.

“පාපන්දුව මාව මිනිසෙක් බවට පත් කළේය. එය මට කිසිදා නොදන්න මිනිසුන් දැන ගැනීමට ඉඩ දුන්නේය. මම පාපන්දු ක්‍රීඩාවට පින්සිදුවන්නට ලොව පුරා සංචාරය කළෙමි. ඒ සියල්ල සඳහා පාපන්දුවට ස්තුතිවන්ත වෙමි” යනුවෙන් ඉබ්‍රහිමෝවිච් වැඩිදුරටත් පැවසුවේය.