සත්‍ය හා සංහිදියා කොමිසම සම්බන්ධයෙන් මේ වන විට සකස් කොට ඇති පනත් කෙටුම්පත මගින් මෙරට අවසන් යුධ මෙහෙයුම් වලදී බලහත්කාරයෙන් අතුරුදන් වුවන්ගේ ඥාතීන් විසින් ඉල්ලා සිටින අවම යුක්තිය හෝ සාධරණය ඉටු කිරීමට අපොහසත්ව ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් පවසා ඇත.

යුද්ධයේ අවසන් මෙහෙයුම් වලදී ආරක්ෂක අංශ වෙත බාරදුන් තම ඥාතීන්ට සිදු වූයේ කුමක්දැයි අතුරුදන් වුවන්ගේ ඥාතීන් ශ්‍රී ලංකා රජයෙන් ප්‍රශ්න කර සිටින බවත් එමෙන්ම එසේ අතුරුදන් වුවන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් සාධාරණයක් අපෙක්ෂා කර සිටින බවත් යුද්ධය හේතුවෙන් අතුරුදන් වුවන්ගේ ඥාතීන් දින 2000 ක කාලයක් අඛණ්ඩ විරෝධතා වල නිරත වෙමින් සිටින බවත් ඒ මහතා සදහන් කර තිබේ.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ සත්‍ය සෙවීමේ හා සංහිදියා කොමිසමක් පිහිටු වීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් කොට ඇති කෙටුම්පත පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආණ්ඩුව සත්‍ය හා සංහිදියා කොමිසම සම්බන්ධයෙන් නව නීති ගෙන ඒමට උත්සහා කරනු ලැබුවත් ඒ පිළිබදව විසිය යුතුම පාර්ශව හා මෙතෙක් සාකච්ඡා පවත්වා
නැතැයිද සුමන්තිරන් මහතා සදහන් කරයි.

නමුත් සත්‍ය හා සංහිදියා කොමිසම සම්බන්ධයෙන් ආණ්ඩුව සකස් කොට ඇති කෙටුම්පත සම්බන්ධයෙන් තමාගේ මතය අසා සිටිය බවද එහෙත් එම කෙටුම්පතේ
වගවීම පිළිබදව හෝ වගකීම පිළිබද කිසිවක් සදහන්ව නැති බවද මන්ත්‍රීවරයා පවසයි..

පසුගිය වසර ගණනාවක් මුළුල්ලෙහි කොමිෂන් සභා 15 ක් ඉදිරි පිට යුද්ධය හේතුවෙන් බලහත්කාරයෙන් අතුරුදන් වුවන්ගේ ඥාතීන් සාක්ෂි ලබාදී ඇති බව පැවසු සුමන්තිරන් මහතා එම සාක්ෂි මත පදනම්ව අතුරුන් න්වුවන්ගේ කාර්යාලය විමර්ශන සිදු කළ බවද පෙන්වා දෙයි.

මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ඉහත කී කොමිෂන් සභා වල කටයුතු වල කිසිදු ප්‍රගතියක් දක්නට නොලැබෙන අතර පරණගම කොමිසම හමුවට ඉදිරිපත් වුණු සාක්ෂිකරුවන් නැවත නැවතත් කොමිෂන් සභා වෙත ආරාධනා කිරීම පමණක් සිදු වන බවය.

රාජිනි මෙන්ඩිස්