පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අද(21) දිනට වසර හතරක් සපිරේ.

ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය තැනැත්තන් සිහිකරමින් සහ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා සිටිමින් අද උදෑසන 8 සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කරන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාව පසුගියදා නිවේදනය කළේය.

එමෙන්ම ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් සපිරීම නිමිත්තෙන් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය දක්වා ඊයේ (20) රාත්‍රියේ පාගමනක් ආරම්භ කර තිබිණි.

මේ අතර මෙම පා ගමන වැළැක්වීම සඳහා මීගමුව පොලිස් ස්ථානය මගින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් තහනම් නියෝගයක් ඉල්ලා ඇති බවත්, එය අධිකරණය ප්‍රතික්ෂේප කර ඇති බවටත් පළවන වාර්තා අසත්‍ය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මීගමුව පොලිස් ස්ථානය මෙවැනි තහනම් නියෝගයක් ලබාගැනීමට අධිකරණය වෙත කරුණු වාර්තා කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සදහන් කර ඇත.

එහෙත් අද පස්වරුවේ මීගමුව – තෙල්වත්ත මංසන්ධියෙන් ආරම්භ කර මීගමුව නගරය කේන්ද්‍ර කරගනිමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් සහ පා ගමනක් සමඟින් ජන රැළියක් පැවැත්වීමට වෙනත් පාර්ශවයක් විසින් කටයුතු යොදා ඇති බවට මීගමුව පොලිසිය වෙත තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා තිබේ.

එමඟින් ප්‍රදේශයේ පදිංචිකරුවන්ට සහ මහජනතාවට තම එදිනෙදා කාර්යයන් ඉටුකරගැනීමට නොහැකිවීම නිසා ඇතිවිය හැකි ගැටුම්කාරී තත්වය වළක්වාගැනීම සඳහා මෙය සුදුසු ක්‍රීඩා පිටියක් හෝ ස්ථානයක් වෙන් කරවා ගෙන සිදුකිරීමට අදාළ ආඥාවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇති බව ද සදහන් වේ.

ඒ අනුව යම් අපරාධමය වරදක් සිදුවන්නේ නම් පොලිසියට ඇති බලතල අනුව ක්‍රියාකරන ලෙස අධිකරණය දැනුම්දී ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කර ඇත.

2019 අද වැනි දිනක පාස්කු ඉරිදාව සමරමින් දේවස්ථානවල දේව මෙහෙයන්ට සහභාගි වූ කතෝලික ජනතාව ඉලක්ක කර ගෙන මෙම ත්‍රස්ත ප්‍රහාරය සිදුවිය.

මෙරට දේවස්ථාන 3 ක් ඇතුළු කොළඹ හෝටල් හා අවන්හල් 7කට බෝම්බ ප්‍රහාර එල්ලවිය.

එම මරාගෙන මැරෙන ප්‍රහාරවලින් අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 260 කට අධික වේ.

දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක ද, දෙහිවල පිහිටි ලැගුම්හලක ද පිපිරීම් වාර්තා විය.

ප්‍රහාරවලින් විදේශිකයන් 45 දෙනෙකු, පොලිස් නිලධාරීන් තිදෙනෙකු, සහ බෝම්බකරුවන් අටදෙනකු ද මරණයට පත්විය.

ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවන් අටදෙනාම ශ්‍රී ලාංකික පුරවැසියන් වූ අතර, ඔවුන් ජාතික තව්හීද් ජමාත් නම් සංවිධානයට සම්බන්ධව සිටිය අය වේ.

බෝම්බ ප්‍රහාරවලින් 500කට අධික පිරිසක් තුවාල ලැබීය.

නිර්මාණි ගුණරත්න