යූරියා පොහොර මිටියක උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන්ට හා බෙදාහරින්නන් නීතියේ රැහැනට හසුකරගන්නා ලෙස වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දී ඇත.

ආර්ථිකය පරිහානියට පත් වීමට වසර ගණනාවක අසාර්ථක කෘෂිකාර්මික ප්‍රතිපත්ති හා තාක්ෂණික ක්‍රම හේතු වූ බව වෙළෙඳ අමාත්‍යවරයා පසුගියදා පැවති හමුවකදී සදහන් කර තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ දත්ත මත පදනම්ව යූරියා මිටියක වෙළෙඳපොළ මිල සකසන ලෙසට හා ඔවුන්ගේ ගබඩා කර ඇති පෙහොර ප්‍රමාණයන් පිළිබද දත්ත රැස් කරන ලෙසත්, එම ගබඩා වලට ගොස් නිරීක්ෂණය කරන ලෙසත් අමාත්‍යවරයා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට උපදෙස් ලබා දී ඇත.

පසුව ඒ පිළිබදව කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුවත් කිරීමට හා එම තොරතුරු කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

වෙළෙඳපලේ යූරියා මිටියක විකුණුම් මිලට වඩා විශාල මුදලකට අලෙවි වන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළ බව ද ඇමතිවරයා සදහන් කර ඇත.

ඒ සඳහා හේතු වූයේ පසුගිය දිනයක පෙහොර නැව ලංකාවට ලඟා වීම ප්‍රමාද වීම වූ නිසා බවත් නමුත් එම නැව එළඹෙන සතිය තුළදී දිවයිනට ලගා වන බවත්,ඒ අනුව වෙළෙඳපොළ අවශ්‍යයතාවය සපුරා ලීමට ප්‍රමාණවත් තරම් යූරියා පොහොර ප්‍රමාණයක් පවතින බවට පොහොර ආනයනකරුවන් අමාත්‍යවරයා හමුවේ පවසා තිබේ.

එම පොහොර ප්‍රමාණයන් පිළිබදව ලිඛිත වාර්තාවක් ලබා දෙන ලෙසට අමාත්‍යවරයා ආනයනකරුවන්ට උපදෙස් ලබා දී ඇත.

යල කන්නයේ යූරියා පොහොර අවශ්‍යයතාවය මෙට්‍රික් ටොන් 80,000 ක් වන අතර මේ වන විට ඉන් 20,000ක් පමණ බෙදා හැර ඇති බව පොහොර ආනයනකරුවන් පවසා තිබේ.

මේ වන විට වෙළෙඳපොළ පොහොර ඉල්ලුමෙන් 60% පමණ අඩු වී ඇති බවද ඔවුන් පවසා ඇත.

මහ කන්නය සාර්ථක ලෙස ආරම්භ කිරීම වෙනුවෙන් පොහොර ආනයනකරුවන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම මිල කෙරෙහි රජයේ බලපෑම අනුව උපරිම මිල සීමාවක් පැනවීමටත්, ඒ පිළිබදව රජය හා පෞද්ගලික අංශය සමඟ නෛතික එකඟතාවයකට යොමු වීම යෝග්‍ය බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

අඩු ජල භාවිතයක් සහිත හා අඩු පිරිවැයක් සහිත නව වී ප්‍රභේද කරා යොමු වීමට ඇති හැකියාව පිළිබදවද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දී ඇත.