2023 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සමාරම්භක උත්සවයේදී  ජාතික ගීය ගායනයේ දී සිදු වූ වැරදි වචන උච්චාරණය සම්බන්ධව සමාව ඉල්ලමින් ගායන ශිල්පිණී උමාරා සිංහවංශ ප්‍රකාශයක් නිකුත් කර ඇත.

එම ප්‍රකාශය මෙසේ දැක්වේ,

වර්ෂ 2023 වූ ජූලි මස තිස් වන දින LPL සමාරම්භක උත්සවයේ දී ජාතික ගිය මා විසින් ගායනා කරන ලද අතර, සමහර වචන මා විසින් උච්චාරණය කරන ලද ආකාරය පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් ඇති වී ඇති බව මගේ අවධානයට යොමු වී ඇත.

මේ සම්බන්ධයෙන් මා කියා සිටින්නේ, මා ශ්‍රී ලාංකිකයකු වශයෙන් මම නිතරම ශ්‍රී ලංකා ධජය මහත් අභිමානයෙන් ඔසවා ඇති බවත්, තම මාතෘ භූමියට ආදරය කරන ගායිකාවක් වශයෙන් මා විසින් සෑම අවස්ථාවකදීම මගේ රටේ අභිමානය නගාසිටුවීම සඳහා ගීත ගායනයෙන් මෙන්ම විවිධ ආකාරයෙන් මගේ උපරිම ශක්ති ප්‍රමාණනයෙන් කටයුතු කර ඇති බවයි. ජාතික ගීයේ වචන විකෘති කිරීමට හෝ කිසිදු ආකාරයක වැරදි අර්ථ කථනයක් සැපයීමට මා කිසිවිටකත් අදහස් කළේ නැත.

මගේ රටේ ජනතාවගේ හැඟීම් මට වැටහෙන බැවින්, මගේ ගායනය නිසා පීඩාවට පත් වූ/ සිත් රිදවීමට ලක්වු ඕනෑම කෙනෙකුට මගේ හෘදයාංගම සහ අවංක සමාව අයැදිමි.