ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ සන්ධානය එරට මහ මැතිවරණයේ ජය තහවුරු කර ගැනීමට සමත්වෙයි. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බලාපොරොත්තු වූ පරිදි පාර්ලිමේන්තුවේ ආසන 400ක් දිනා ගැනීමේ ඉලක්කය ඔවුන් සපුරා ගෙන නොමැති බව ය.

නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය විසින් නායකත්වය දෙනු ලබන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මැතිවරණයේදී දිනා ගෙන ඇති ආසන ගණන 274ක් වන අතර එම ගණන ඉන්දීය පාර්ලිමේන්තුවේ රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතරයට (සාමාන්‍යයෙන් ආසන 272) වඩා වැඩි ආසන ගණනකි. එබැවින් අවම වශයෙන් ආසන 274ක් දිනා ඇති ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ආණ්ඩුවක් පිහිටුවීමට සහ නායකත්වය දීමට ප්‍රමාණවත් ආසන ගණනක් දිනා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජයග්‍රහණයට සුබපැතුම් එක්කර තිබේ. එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය පිළිබඳව එරට ජනතාව තුළ ඇති විශ්වාසය පිළිබඳව මෙමගින් මනාව තහවුරු වන බවයි. එසේ ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති සබඳතා ශක්තිමත් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යන බව ද එමගින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.