ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් විරෝධතාවයක නිරතවු මව්පියන් පිරිසක් සමග ඊයේ පැවති සාකච්ඡාවකින් පසුව එම තීරණය ගත් බව​යි.

ඊයේ (30) ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව නතර කරන බවට ජනාධිපතිවරයා දැනුම්දුන් බවත්, පස්වරුවේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මෙම තීරණය තමන්ට දැනුම්දුන් බවත් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව වෙනුවෙන් හඬ නැගූ මව්පියෝ පැවසූහ.

එමෙන්ම එහිදී ඔවුන් පවසා සිටියේ, පළමු පත්‍රය නැවත පවත්වන මෙන් තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුවට විසඳුමක් ඉල්ලා මව්පියන් පිරිසක් ඊයේ දවස පුරා බත්තරමුල්ලේදී සහ කොළඹදී විරෝධතාවල නිරත වූහ.

පසුව ඔවුන් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල ද රැඳී සිටිමින් විරෝධතාවේ නිරත වූ අතර, එහිදී මව්පියන් හය දෙනෙකුට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට අවස්ථාව හිමිවිය.