ඉන්දියාවේ දී ලබන ඔක්තෝම්බර් මස ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පාකිස්ථාන සහභාගිත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින් පිරිසක් එරටට ගොස් තිබේ.

එම කවුන්සිලයේ සභාපති ග්‍රේක් බාර්න්ගේ සහ ප්‍රධාන විධායක නිලධාරි ජෙෆ් ඇලඩරීස් ඊයේ (30) දිනයේ පාකිස්ථානයට ගොස් ඇති අතර, එහිදී පාකිස්ථානයේ සහභාගිත්වය පිළිබද තීරණයක් ගැනීමට නියමිතය.

සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරක රට ලෙස පාකිස්ථානය කටයුතු කරන අතර, ඉන්දියාවට දැනටමත් එරටට යාම ප්‍රතික්ෂේප කර ඇත.

එම තත්ත්වය මත ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා පාකිස්ථාන සහභාගිත්වය ද අවිනිශ්චිත වනු ඇති බව ක්‍රිකට් විචාරකයින් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, කුමන තත්ත්වයක් පැවතිය ද ලබන මස 7 වැනිදා එංගලන්තයේ – ඕවල්හි දි පැවැත්වෙන ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් අනතුරුව එක්දින ලෝක කුසලාන තරගාවලියේ කාල සටහන නිකුත් කරන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවධාරණය කර ඇත.