ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන යෝජනා සම්මතයන්ට අදාළව පැවැත්වීමට නියමිත ඡන්දයට විරෝධය පළකර සභා ගැබෙන් පිටව යාමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.

ඒ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ප්‍රකාශ සිදු කර තිබේ.

ශ්‍රී ලංකාවට හිමිවී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) විස්තීරණ ණය පහසුකම පිළිබඳ සැකසුම ක්‍රියාත්මක කිරීමේ යෝජනා සම්මතය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ තුන්වන දිනය අද (28) දිනය යෙදි තිබිණි.

එහිදී එම අරමුදලෙන් ණය ලබා ගැනීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සඳහා ඡන්ද විමසුමක් අද පැවැත්විමට නියමිතය.

එමෙන්ම ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය එහිදී පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ඇති බවත්, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමටයි තිරණය කර තිබෙන බවත් මීට පෙර දි  වාර්තා විය.

කෙසේ වෙතත් එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙන බව මීට පෙර පැවසූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද  අද පැවැත්වෙන ඡන්ද විමසීමට නොපැමිණෙන බව නිවේදනය කර ඇත.

එමෙන්ම නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය අයි.එම්.එෆ්. ගිවිසුම් යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දෙන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය  අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කර ඇත.

ජාතික ජන බලවේගය, දෙමළ ජනතා සන්ධානය සහ අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයද අයි.එම්.එෆ්. ගිවිසුම් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ.