මෙවර අයි.පී.එල්. තරගාවලිය අද අලුයම අවසන් වුණේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ශූරතාව හිමි කර දෙමිනි. ඒ අනුව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට අනුශුරතාවෙන් සෑහීමකට පත් වීමට සිදු විය.

තරගාවලියේ ශූරතාව දිනාගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 20ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 71ක පමණ මුදලක් හිමි විය. අනුශූරයන් වූ ටයිටන්ස් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 12.5ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 45ක පමණ මුදලක් හිමි විය.

අවසන් මහා තරගයේ වීරයා සම්මානය චෙන්නායි කණ්ඩායමේ ඩෙවෝන් කොන්වේට හිමි වූ අතර, ඔහුට ඉන්දීය රුපියල් ලක්ෂ 05ක ත්‍යාග මුදලක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 18ක පමණ මුදලක් හිමි වුණා.

මෙවර තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකර ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල් සමත් වුණා. ඒ මෙවර තරගාවලියේදී ඉනිම් 17කදී ලකුණු 890ක් රැස් කරමින් දැක් වූ දක්ෂතා සැලකිල්ලට ගනිමිනි. ගිල් මෙවර තරගවාරයේදී ශතක 03ක් හා අර්ධ ශතක 04ක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ 59.33ක් ලෙසිනි. මෙම සම්මානය සඳහා ගිල්ට ඉන්දීය රුපියල් ලක්ෂ 10ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 36ක පමණ මුදලක් හිමි විය.

මෙම සම්මානයට අමතරව තවත් සම්මාන රැසකින් පිදුම් ලැබීමට ෂුබ්මන් ගිල් සමත් විය. ඒ අනුව තරගාවලියේ වැඩිම ලකුණුලාභියාට හිමි වන තැඹිලි පැහැති හිස්වැසුම, තරගාවලියේ වැඩිම හතරේ පහර සංඛ්‍යාවක් එල්ල කළ (හතරේ පහර 85ක්) පිතිකරු, තරගාවලිය තුළ තරග වෙනස් කරන්නා (Game Changer of the Season) යන සම්මාන ෂුබ්මන් ගිල් විසින් දිනාගනු ලැබුවා. එම සම්මාන වෙනුවෙන්ද ගිල්ට ඉන්දීය රුපියල් ලක්ෂ 10 බැගින් මුදල් ත්‍යාග හිමි වූවා.

තරගාවලියේ වැඩිම කඩුලුලාභියාට හිමි දම් පැහැති හිස්වැසුම ටයිටන්ස් කණ්ඩායමේම මොහමඩ් ෂාමි විසින් ගනු ලැබුවා. ඔහු තරග 17කදී කඩුලු 28ක් දවා ගැනීමට සමත් වූ අතර, ඔහුට එම සම්මානය සමග ඉන්දීය රුපියල් ලක්ෂ 10ක මුදලක් හිමි විය.

තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා සම්මානය දිනාගැනීමට සමත් වුණේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ යශස්වි ජයිස්වාල්. ඔහුටද ඒ වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදලක් හිමි වුණා.

තරගාවලියේ හොඳම ප්‍රහාරාත්මක වේගයට හිමිකම් කියූ ක්‍රීඩකයා සම්මානය හිමි වූයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලොර් කණ්ඩායමේ ග්ලේන් මැක්ස්වෙල්ටය. මෙවර තරගාවලියේ ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 183.48ක් ලෙස සටහන් වී තිබුණි. මෙම සම්මානය සඳහාද ඔහුට ඉන්දීය රුපියල් ලක්ෂ 10ක මුදලක් හිමි විය.

තරගාවලියේ දිගම හයේ පහරට හිමි සම්මානය මීටර් 115ක දුරකින් යුත් හයේ පහරක් එල්ල කළ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක ෆෆ් ඩු ප්ලෙසිස් විසින් හිමි කර ගත් අතර, ඔහුටද ඉන්දීය රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදලක් හිමි විය.

තරගාවලියේ හොඳම උඩ පන්දුව රැකගත් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ රෂීඩ් ඛාන්. එම සම්මානය සඳහාද ඔහුට ඉන්දීය රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදලක් පිරිනැමිනි.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරගාවලියේ හොඳම ජීව ගුණයෙන් යුතු කණ්ඩායමට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත් විය.

කවිඳු කාරියවසම්