අපනයනය ඉලක්ක කර ගනිමින් යාපනයේ  ඇඹුල් කෙසෙල් අක්කර 200ක් සහ TEJC අඹ අක්කර 500ක  වගා ව්‍යපෘති ඉතා සාර්ථක වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසා ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ මෙම වගා අරඹා තිබේ.

TEJC අඹ ව්‍යාපෘතිය යටතේ චාවකච්චේරි එළුතුමට්ටුවාල් ප්‍රදේශයේ අක්කර 500ක TEJC අඹ වගා කර ඇති අතර ඇඹුල් කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානය  නිලාවරෙයි ප්‍රදේශයේ ස්ථාපිත කර ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම ව්‍යාපෘති දෙකෙහි ප්‍රගතිය සොයා බැලීම සඳහා  යාපනයට ගිය අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා ද සහභාගී වී තිබේ.

යාපනයේ ඇඹුල් කෙසෙල් වගාව තවත් අක්කර 400ක් දක්වා ව්‍යාප්ත කරන අතර TEJC අඹ ව්‍යාපෘතිය යටතේ දැන් වගා කර තිබෙන ඉඩම් ප්‍රමාණය ප්‍රමාණවත් බව එහිදී අමාත්‍යවරයා පවසා ඇත.