සමස්ත සෞඛ්‍ය ක්‍ෂේත්‍රයම නියෝජනය වන පරිදි අගෝස්තු 3 වන දා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

රජයේ රෝහල්වල ඖෂධ හිඟය, බාල ඖෂධ රෝගීන්ට නිර්දේශ කිරීමට සිදුවී තිබීම ඇතුළු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සමස්ත කඩා වැටීමට එරෙහිව මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයන් සදහන් කර ඇත.

මෙම සංකේත වර්ජනය සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ගන්නා පියවරක් නිසා ජනතා සහය ද එම ක්‍රියාමාර්ග සඳහා ලබාගන්නා බව එම වෘත්තීය සමිති නායකයන් පවසා තිබේ.

ඒ අනුව, බදාදා කොළඹට රැස්වන සෞඛ්‍ය වෘත්තිකයෙන් රෝගීන්ගේ ජීවිත ආරක්‍ෂා කරලීමේ අරමුණින් හා සෞඛ්‍ය අර්බුදයට පිළිතුරු ලබාදීම සඳහා නව ජාතික ව්‍යාපාරයක් එදින පිහිටුවීමට ද කටයුතු සූදානම් කර ඇත.

රෝහල්වල සැබෑ තත්ත්වය හා හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ ජාවාරමට එරෙහිව හඬ නඟන වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිතිවල හඬ යටපත් කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා ගත් තීන්දුව වහා හකුළා ගත යුතු බව ද ඔවුන් සඳහන් කර ඇත.

සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කරන ලද චක්‍රලේඛය අවලංගු නොකරන්නේ නම් වෘත්තීය අරගලය දැඩි කරන බව ද ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.