අස්වැසුම වැඩසටහන යටතේ ලබා දීමට නියමිත දීමනා මුදල් ප්‍රමාද වී ඇත්තේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අභියාචනා හා විරෝධතා පිළිබඳව සොයා බැලීමට පිහිටුවා ඇති අභියාචනා කමිටුවල ප්‍රමාදය හේතුවෙන් බව ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සාමාජික කමල් පද්මසිරි පවසා ඇත.

ඒ අනුව, පළමු අදියරේ දීමනාව ලබාගත් පුද්ගලයන්ට දෙවන හා තෙවන අදියරේ දීමනා ලබා දීමටත්, අභියාචනා හා විරෝධතාවලට ලක්වූවන් අතරින් සුදුසුකම් ලැබූවන්ට පළමු අදියරේ දීමනාව ලබා දීමටත් නොහැකි වී ඇතැයි හෙතෙම සඳහන් කර තිබේ.

මෙම දීමනා මුදල් නිදහස් කළ හැක්කේ, අභියාචනා කමිටු ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයට අවසන් වාර්තා ලබා දීමෙන් පසුව බවද පද්මසිරි මහතා පවසා ඇත.

අභියාචනා පිළිබඳ වාර්තාවක් හා විරෝධතා පිළිබඳ වාර්තාවක් වශයෙන් වාර්තා දෙකක් සකස් කර දෙන ලෙසට එම කමිටුවලට දැනුම් දී ඇතත් මේ දක්වා කිසිදු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් අවසන් වාර්තා ලැබී නොමැති බව ද ඔහු ප්‍රකාශ ප්‍රකාශ කර ඇත.

අදාළ වාර්තා ලැබී කෙටිකලකින් සියලු මුදල් නිදහස් කළ හැකි බවත්, දීමනා මුදල් ප්‍රමාදය සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වරදක් හේතුවෙන් සිදුව නොමැති බවත් එහි සාමාජික කමල් පද්මසිරි සඳහන් කර තිබේ.

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහනට ලැබුණු අයැදුම්පත් 3,744,494ක් අතරින් 17,92,265 දෙනෙකු සුදුසුකම් ලබා තිබූ බව ත්, මෙම වැඩසටහනට අදාළව අභියාචනා 1,028,885ක් සහ විරෝධතා 1,34,540ක් ලැබී තිබූ බවත් ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 6,89,803 දෙනෙකුගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් බැර කළ බව ද එම මණ්ඩලය සඳහන් කර ඇත.