ඉන්දියානු සිනමාවේ පතාක යෝධයින් දෙදෙනෙකු වන බොලිවුඩ් සිනමාවේ Shahenshah අමිතාබ් බච්චන් සහ කොලිවුඩ් සිනමාවේ Thalaivar රජිනි කාන්ත් එක්ව චිත්‍රපටයක රඟපෑමට සූදානම් වන බව වාර්තා වනවා.

Lyca සමාගමේ නිෂ්පාදනයක් වන රජිනි කාන්ත් ගේ මීළඟ චිත්‍රපටය සමගිනුයි මෙම සුපිරි නළුවන් දෙදෙනා එක්ව රඟපෑමට නියමිතව තිබෙන්නේ.

මෙම සුපිරි නළුවන් දෙදෙනා මින් ඉහත දී හින්දි චිත්‍රපට කිහිපයක එක්ව රඟපා ඇති අතර, මෙලෙස ඔවුන් නැවතත් එක්ව රිදී තිරයට පැමිණෙන්නේ වසර 34 කට පසුව වීම විශේෂත්වයක්. එමෙන්ම මෙය අමිතාබ් බච්චන් රංගනයේ යෙදෙන පළමු දමිළ චිත්‍රපටයද වනවා.

T.J. ඤානාවේල් විසින් පිටපත් රචනය කර අධ්‍යක්ෂණය කරන, තවමත් නමක් යොදා නැති මෙම චිත්‍රපටය, තාවකාලිකව Thalaivar 170 යනුවෙන් නම් කර තිබෙනවා. මේ සඳහා රානා දගුබති, ෆහාද් ෆාසිල්, රිතිකා සිං, මංජු වාරියර් ඇතුළු ජනප්‍රිය නළු නිලි කැලක් රංගනයෙන් එක් වන බව වාර්තා වන අතර, පසුගිය කාල සීමාව පුරාවටම ජනප්‍රිය වූ චිත්‍රපට රැසක සංගීත අධ්‍යක්ෂණය කළ අනිරුද් රවිචන්ද්‍රන් මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක වරයා වනු ඇති.